Home » මාඔ­යට ගිහින් බලද්දී ‘මුත්තු’ වතුර මෝට­රය අල්ලා­ගෙන උඩු­බැලි අතට ඔයේ වැටී සිටියා
විදුලි සර වැදී මිය ගිය මුත්තුගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය:

මාඔ­යට ගිහින් බලද්දී ‘මුත්තු’ වතුර මෝට­රය අල්ලා­ගෙන උඩු­බැලි අතට ඔයේ වැටී සිටියා

මරණ පරී­ක්ෂ­ණ­යේදී කුකුළු කොටුවේ හිමි­කරු නිහාල් සාක්කි දෙයි

by damith
April 20, 2024 1:02 am 0 comment

‘මම මා ඔයට ගිහින් බලන කොට මුත්තු එක අත­කින් වතුර මෝට­රය අල්ලා­ගෙන උඩු­බැලි අතට ඔයේ වැටී මිය ගිහින් සිටි­නවා දැක්කා’ යැයි මා ඔයේ දී වතුර මෝට­ර­ය­කින් විදුලි සර වැදී මිය ගිය පුද්ග­ල­යාගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී කුකුළු කොටුවේ හිමි­කරු වන 58 හැවි­රිදි බෙලි­ගල වේර­ගොඩ පදිංචි නිහාල් ප්‍රියන්ත ඊයේ(19) පැව­සීය.

මෙලෙස විදුලි සර වැදී තිබුණේ මාව­නැල්ලේ පදිං­චිව සිටි මුත්තු සිව­ලිං­ගම් නැමැති 66 හැවි­රිදි විවා­හක පුද්ග­ල­ය­කු­ටය. ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති පුද්ග­ලයා වර­කා­පොළ පොලිස් වසමේ මා ඔය ආස­න්නයේ වද්දෙ­නිය ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගිය මසට ඇති කරන කුකුළු කොටු­වක මුර­ක­රු­වකු ලෙස සේවය කර තිබේ. මේ කුකුළු කොටු­වට ජල මෝට­ර­ය­කින් මා ඔයේ සිට ජලය ලබා ගන්නා අතර පෙරේදා(18) ජලය නොපැ­මි­ණිම හේතු­වෙන් මුර­කරු මා ඔයට ගොස් ජලයේ තබා තිබුණු ජල මෝට­රය පරීක්ෂා කිරී­මට යෑමේදී විදුලි සර වැදී උඩු­බැලි අතට ඔයේ වැටී සිට ඇත. පසුව වර­කා­පොළ වැඩ බලන මහේ­ස්ත්‍රාත් නිහාල් උපාලි රත්නා­යක මහතා සිද්ධිය වු ස්ථාන­යට ගොස් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය කළේය. දේහය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පවත්වා දේහය ඥාතීන්ට භාර දෙන ලෙස වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා පොලි­සි­යට නියෝග කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් කුකුළු ගොවි­පොළේ හිමි­කරු වන නිහාල් ප්‍රියන්ත විජේ­රත්න නැමැත්තා මෙසේ ද පැව­සීය.

මම විවා­හ­කයි.දිය­ණි­යන් දෙදෙ­නෙක් සිටි­නවා. මම අවු­රුදු 20ක කාල­යක සිට බිත්තර ලබා ගැනී­මට හා මසට කුකු­ළුන් ගෙදර ඇති කර තමයි ජීවත් වෙන්නේ. බිත්තර ගන්න කුකු­ළන් හැදීම කොව්ඩි වසං­ග­ත­යෙන් පස්සේ නතර කළා. දැනට මා ළඟ මසට හදන කුකු­ළන් 20 000ක් පමණ සිටි­නවා. වර­කා­පොළ අලව්ව වද්දෙ­නිය ප්‍රදේ­ශයේ අක්කර 7ක පමණ වත්තක කාල­යක සිට වහලා තිබුණු ⁣කුකුළු කොටු­වක් මීට අවු­රු­ද්ද­කට පමණ කලින් මස­කට රුපි­යල් ලක්ෂ එක හමා­රක කුලී පද­නම මත මම ගත්තා. මේ වත්ත බලා ගන්න වෙනම මුර­ක­රු­වෙක් වතු හිමි­කරු විසින් යොමු කර තිබෙ­නවා. මේ කුකුළු කොටුව තිබෙන්නේ මගේ ගෙදර ඉදලා කිලෝ­මී­ටර් 8ක් පමණ දුරින්. මම කුකුළු කොටුව අර ගත්තාට පස්සේ මසට ගන්න කුකු­ළුන් පම­ණක් ඇති කරන්න පටන් ගත්තා.

මේ කුකුළු කොටුව රැක බලා ගන්න ගාල්ල ප්‍රදේ­ශයේ තරුණ මුර­ක­රු­වකු ගත්තා. ඔහු කුරු­ණෑ­ගල නාර­ම්මල ප්‍රදේ­ශ­යෙන් විවාහ වෙලා නාර­ම්මල පදිං­චිව සිටි­නවා. මේ මුර­කරු අවු­රු­ද්දට නිවාඩු ගත්තා 12 වැනිදා ගාල්ලේ ගෙදර යන්න ඕනෑ කියලා. ඔහු 12 වැනිදා ගාල්ලේ ගියා. පස්සේ මගේ පුංචි අම්මාගේ පුතා කුකුළු කොටුව බලා ගන්න මිය ගිහින් ඉන්න මුත්තු මාව­නැල්ලේ සිටිය දී හොයලා දුන්නා. මුත්තු මම පදිං­චිව සිටින වේර­ගොඩ නිව­සට ඉකුත් අප්‍රේල් 12 වැනිදා ආවා. පස්සේ කිලෝ­මී­ටර් 7 ක් ඈතින් පිහිටි කුලි­යට ගත්ත වද්දෙ­නිය කුකුළු කොටු­වට මම මුත්තු ගිහින් ඇර­ල­වලා ආවා. මම නිත­රම වේර­ගොඩ ඉදලා වද්දෙ­නියේ කුකුළු කොටුව බලන්න යනවා එනවා. මේ කුකුළු ෆාම් එකට වතුර ගන්න වත්තේ ළිඳක් තිබෙ­නවා. ළිඳේ මේ දව­ස්වල වතුර නැති නිසා මා ඔයට වත්තේ මුර­කරු මෝට­රය දාලා වතුර ගහ­නවා.

18 වැනිදා වතුර ගන්න මෝට­රය ගහලා තිබෙ­නවා. වතුර ඇවිත් නැති නිසා මුත්තු ගිහින් තිබෙ­නවා වතුර එන්නේ නැත්තේ මොකද කියලා බලන්න. මුත්තු ආපසු නැති නිසා සම්පූර්ණ වත්ත බලා ගන්න මුර­කරු මා ඔයට ගිහින් තිබෙ­නවා බලන්න. ඒ යන කොට මුත්තු මා ඔයේ තිබුණු වතුර මෝට­රය අල්ලා­ගෙන ඔයේ වැටිලා ඉදලා තිබෙ­නවා. පස්සේ මුර­කරු මට කතා කර කිව්වා. මම ගිහින් බලලා වර­කා­පොළ පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කළා.

මට මේ මර­ණය සැක­යක් නෑ. විදුලි සර වැදී මිය යන්න ඇතැයි විශ්වාස කර­නවා. මර­ණයේ සිය­ලුම වැඩ කර ගන්න මම උදව් උප­කාර කර­න­වා­යැයි පැව­සීය.ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබුණු පුද්ග­ල­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ(19) කෑගල්ල මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය සමන්ත විජේ­රත්න මහතා විසින් සිදු කිරී­මට නිය­මි­තව තිබුණි. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව දේහය මිය ගිය පුද්ග­ල­යාගේ වැඩි­ම­හල් සහෝ­ද­රි­යට භාර දීමට නිය­මි­තව තිබුණි. වර­කා­පොළ පොලි­සියේ පොලිස් සැර­යන් ජය­ව­ර්ධන (68822) විම­ර්ශන කට­යුතු සිදු කළේය.

කෑගල්ල විශේෂ -චමින්ද ජය­ලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT