විසිඑක් වැනි වරට පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට එක් වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම අද (22) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.
ආසියානු මලල ක්‍රීඩා සංගමය සංවිධාන කරන මේ ශූරතාවලිය මේ 24 වැනිදා සිට 27 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන අතර, ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 17 දෙනකු ඇතුළත් වෙති.
ක්‍රීඩකයන් 11 දෙනකු එක්වන පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩක මෙරෝන් විජේසිංහ කටයුතු කරන අතර, බිබිල නන්නපුරව මහ විදුහල් ක්‍රීඩිකා මධුෂානි හේරත්ගේ නායකත්වයෙන් යුත් කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 6 දෙනකු එක්ව සිටිති.
අවසන් වරට පසුගිය වසරේ ජූනි මස දකුණු කොරියාවේදී මේ තරගාවලිය පැවති අතර, එහිදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමඟින් 7 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එවර තරුෂි කරුණාරත්න රන් සහ රිදී පදක්කම බැගින් දිනාගත් අතර, මීටර් 400 මිශ්‍ර සහාය කණ්ඩායම නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගත්තේය. ජයෙෂි උත්තරා සහ මලිත් යසිරු රිදී පදක්කම් දිනා ගත්හ.
රටවල් 40කට අධික ප්‍රමාණයක් එක් වන මෙවර තරගාවලියේදී පදක්කම් 5කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගැනීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අපේක්ෂාව වී තිබේ.
තරගාවලියට එක්වන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස භද්‍ර ගුණවර්ධන මහත්මිය කටයුතු කරන අතර, නිපුන නිර්මාල් මහතා පුහුණුකරු ලෙසත්, කණ්ඩායමේ කළමනාකරු ලෙස ඉන්දික ප්‍රසන්න මහතා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස නදීපා තිලකරත්න මහත්මියත් මේ සංචාරයට එක් වෙති.
මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම: පිරිමි – මෙරෝන් විජේසිංහ (මී. 100, 100×4), අයෝමාල් අකලංක (මී. 400, 400×4), තරුෂ මෙන්ඩිස් (උස පැනීම), දෙනෙත් අනුහස් (උස පැනීම), දිනෙත් වීරරත්න (100×4), මලිත් කේ. තමෙල් (100×4), ආර්.අයි. විදූෂන් (100×4), ජාත්‍ය කිරුළු (400×4), අවිශ්ක රාජපක්ෂ (400×4), හසිඳු නෙත්සර (400×4), ශෂින්ත සිල්වා (400×4).
කාන්තා – මධුෂානි හේරත් (දුර පැනීම, තුන්පිම්ම), තරුෂි අභිෂේකා (මී. 800, 400×4), නුහන්සා කොඩිතුවක්කු (400×4), ජිත්මා විජේතුංග (400×4), මහීමා ප්‍රවින්දි (400×4), චාරුනි ප්‍රමුධිකා (400×4).
නිරෝෂාන් ප්‍රියංකර