Home » විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසිදු වෙනසකින් තොරව ජනපති රනිල් ඉදිරියට ගෙන යනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසිදු වෙනසකින් තොරව ජනපති රනිල් ඉදිරියට ගෙන යනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
April 23, 2024 1:01 am 0 comment

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසිදු වෙනසකින් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනු ලබන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරී හමුවක් ආසනයේ ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. එහිදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද පැවසීය.

2015 ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා අවසාන මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරගයට එළඹුණා. අවසානයේ ඔහු ජනාධිපති ධුරයට පත්වෙමින් රට බේරා ගත් නායකයාට ගෙදර යෑමට සිදු වුණා. නමුත් ඒ මොහොතේ අපි එම නායකත්වය අත් නොහැර පොදුජන එක්සත් පෙරමුණ බිහි කිරීම සඳහා විවිධ අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කළා. එහි ඓතිහාසික උරුමයක් හෝමාගම ජනතාවටද හිමිවනවා. ඒ තුළින් අති විශාල ජනවරමක් ලබා දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා. නමුත් ඒ මොහොතේ විශාල ණය බරකින් මිරිකී තිබූ රට මුහුණපා තිබුණු එම ගැටලුව අමතක කර ප්‍රශ්න විසඳීමට උත්සාහ කළා. නිදහසින් පසු ශ්‍රී ලංකාව, ලංකාවට ඔරොත්තු නොදෙන ආකාරයේ ගමනක් පැමිණ තිබෙනවා. එදිනෙදා ආණ්ඩුව පවත්වා ගෙන යෑම සඳහා අසාමාන්‍ය ලෙස ණය ලබාගෙන තිබෙනවා. නමුත් එම වියදම් පියවිය හැකි ප්‍රමාණයේ ආදායමක් ලංකා ආණ්ඩුව උපයා නැහැ. මේ අර්බුදය ඉතාමත් උග්‍ර තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහළට දැමුවා.

ණය නොගෙවා සිටීම පිළිබඳ අමෙරිකාවේ හැමිල්ටන් ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරුවා. මේ තත්ත්වය මත රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස් ආනයනය කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්වුණා. ජාත්‍යන්තර සංචිත බින්දුව දක්වාම පහත වැටුණා. විදුලිය කප්පාදු කළා. ඒ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණ සහ අන්තවාදී කණ්ඩායම්වල පෙලඹවීම මත අප සියලු දෙනාටම අරගලයේ ගොදුරු බවට පත්වීමට සිදු වුණා. රට පුරා ගිනි තැබීම් සිදු වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසිදු වෙනසකින් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනු ලබනවා.

මිනීමරු ප්‍රචණ්ඩත්වය තුළින් දේශපාලන ප්‍රශ්න සඳහා විසඳුම් සෙවිය නොහැකියි. 1989 සමය තුළද එවැනි අත්දැකීම් අපට තිබෙනවා. නමුත් උතුරේ හෝ දකුණේ කොතැනක හේ වෛරයෙන් දේශපාලන ප්‍රශ්න විසඳිය නොහැකියි.

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ලබාගත් ණය ප්‍රමාණයෙන් රුපියල් බිලියන අටසීයක් තවදුරටත් ගෙවිය යුතුව පවතිනවා. අධිවේගී මාර්ග තුළින් වසරකට ලැබෙන ලාභය රුපියල් බිලියන 5ක්. ඒ අනුව එම සම්පූර්ණ මුදලින් ලබාගත් ණය මුදල කිරීම සඳහා තවත් වසර 160ක් ගතවනවා. නමුත් මේ දැවැන්ත ගැටලුව කිසිදු දේශපාලනඥයෙකු ජනතාවට හෙළි කරන්නේ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් ගිවිසුමට මේ වන තුරුත් අත්සන් තබා නැහැ. නමුත් ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව චීනය, ඉන්දියාව, ජපානය, පැරිස් අධාර කණ්ඩායම මේ වන විට යම් වැඩපිළිවෙළකට එකඟතාවය පළ කර තිබෙනවා. කෙසේ නමුත් රට හමුවේ පවතින මේ තීරණාත්මක ගැටලුව පිළිබඳ කිසිවකුත් විවාද කරන්නේ නැහැ. එම නිසා මෙම අභියෝගය ජයගත හැකි සුදුස්සෙක් රට ගලවා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුයි. මේ ඒ සඳහා ඇති තීරණාත්මක අවසන් අවස්ථාවයි. ඒ සඳහා අප සතුව විශාල වගකීමක් පවතිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අජිත් නාරගල, ප්‍රදේශයේ හිටපු මහජන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT