Saturday, May 18, 2024
Home » යුද හමුදාවේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩක රසික අබේනායකගේ වියෝවෙන් ඇඹිලිපිටියම කම්පා වෙයි

යුද හමුදාවේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩක රසික අබේනායකගේ වියෝවෙන් ඇඹිලිපිටියම කම්පා වෙයි

by sachintha
April 23, 2024 1:01 am 0 comment

පසුගියදා දියතලාව ප්‍රදේශයේ පැවැති‌ ‌ෆොක්ස් හිල් මෝටර් ක්‍රොස් ධාවන තරගාවලියේදී සිදු වූ අනතුරෙන් මියගිය ශ්‍රි ලංකා යුද හමුදාවේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩක රසික අබේනායක මහතාගේ වියෝවෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පනයට පත්ව සිටිති.

රසික අබේනායක මහතා ඇඹිලිපිටිය පනාමුර ගොඩවෙල පදිංචි පුද්ගලයෙක් වන අතර අබේනායක මහතා පවුලේ දෙවැනි පිරිමි දරුවා ලෙස 1992 මැයි 4 වැනිදින ඇඹිලිපිටිය රෝහලේදී උපත ලැබූවෙකි.

ඒ මහතාගේ වැඩිමහල් සොහොයුරා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු උපාධිධාරියෙක් වන අතර ඔහුට බාල සහෝදරියක්ද සිටී. අබේනායක මහතාගේ මව්පියන් ගොවිතැන් කරමින් ප්‍රදේශයේ සමාජ සත්කාරවල නියැළෙමින් ජීවත් වෙති. ඒ මඟ යමින් මියගිය අබේනායක මහතා ද ප්‍රදේශයේ සමාජ සේවයේ යෙදෙමින් කා අතරත් ප්‍රසාදයක් හිමිකර ගත් තරුණයෙකි. ඒ නිසාම ඒ මහතාගේ හදිසි වියෝවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි සංවේගයට පත්වී සිටිති.

ඒ මහතා මේ මස 22 වැනි දින උඩවලව ඉංජිනේරු යුද හමුදා කඳවුරට ස්ථාන මාරුවක් ලබා එහි වැඩ බාර ගැනීමට නියමිතව සිටි බවත් ඒ නිසාම උඩවලවට රැගෙන යා යුතු ගමන් බෑගය පවා සකසා ඇති බව ඔහුගේ ඥාතීහු සූසුම් හෙළමින් පැවසූහ. ඒ මහතා පනාමුර ගොඩවෙල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති අතර එම කාලයට මැද භාගයේ පිළිමතලාව මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවද ඥාතීහු පැවසූහ. එසේ අධ්‍යාපනය ලබා පසුව හමුදාවට බැදී එහි ඉංජිනේරු අංශයේ සේවය කරන අතරතුර යුද හමුදා රග්බි කණ්ඩායමට එක්වී ක්‍රීඩා දක්ෂතා එළි දක්වමින් එහි සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත් ව සිට ඇත.

ඒ අතරතුර දියතලාවේ පිහිටි මෝටර් ක්‍රොස් තරගාවලියේ රාජකාරි කටයුත්තක නිරතවෙමින් සිටියදී සිදුවූ අනතුරේදී ඒ මහතා මිය ගියේය. ඒ මහතාගේ අවසන් කටයුතු ආදරණීය බිරිය ජීවත්වන පිළිමතලාවේදී සිදු කිරීමට නියමිතය.

ඔහු එදින ෆොක්ස් හිල් තරගාවලියේ තරග අධීක්ෂකවරයකු ලෙස රාජකාරියේ යෙදී සිටි බව වාර්තා වේ. යුද හමුදා රග්බි පිළේ විශිෂ්ට ක්‍රීඩකයකු වන රසික අබේනායක අවසන් වරට සිය කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ පසුගිය වසරේදීය. ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගවාරයෙන් නිදහස් කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලුතිනන් කර්නල් හෂ්මිත කරුණාතිලක ‘දිනමිණ‘ට පැවසීය.

පිළිමතලාවේ පදිංචි උපාධිධාරිනියක වන ගීති ප්‍රදීපනී සමඟ මීට වසර 4කට පෙර විවාහ දිවියට ඇතුළත් වූ රසික අබේනායක දෙහැවිරිදි සිඟිති පුතකුගේ ආදරණීය පියෙකි. ඔහුගේ දේහය පිළිමතලාවේ බිරියගේ නිවෙසේ තැන්පත් කර ඇත.

ඇඹිලිපිටිය කසුන් දර්ශන සමරවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT