Home » ෆොක්ස් හිල් මෝටර් රථ තරග අනතුර තරගකරුවෝ දෙදෙනෙක් 30 තෙක් රිමාන්ඩ්

ෆොක්ස් හිල් මෝටර් රථ තරග අනතුර තරගකරුවෝ දෙදෙනෙක් 30 තෙක් රිමාන්ඩ්

by sachintha
April 23, 2024 2:07 am 0 comment

හත්දෙනකුට මරු කැඳවමින් 19 දෙනකුට තුවාල සිදු කරමින් දියතලාව නරියාකන්ද ෆොක්ස් හිල් මෝටර්රථ ධාවන තරගයේ දී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියැදුරන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ඊයේ (22) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පදියතලාව පොලිසිය මඟින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම තරගාවලියේ අංක 5 යටතේ තරග වැදුණු මාතර මැද පාරේ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන රියැදුරකු සහ අංක 196 යටතේ තරග වැදුණු පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන රියැදුරකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම අනතුරින් මෙම රියැදුරන් දෙදෙනාද තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනාව දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අධිකරණයට ඔවුන් දෙදෙනා ඉදිරිපත්කර ඇත්තේ ද රෝහල්ගතව සිටින අතරතුර දී බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් තවදුරටත් සිටින ඔවුන්ට බන්ධනාගාරය විසින් විශේෂ ආරක්ෂාවක් ඊයේ යොදවනු ලැබීය. වසර පහකට පසු පැවැති මෙම ධාවන තරගයේදී මෝටර් රථයක් අනතුරට ලක්ව ධාවන පථයේ අයිනක නැවතී තිබියදී එම වාහනයේ ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් ගැටී නරඹන්නන් පිරිසක් සිටි ස්ථානයකට වැටී මෙන් ජීවිත 07ක් අහිමිවෙමින් 19 දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විමර්ශනයේදී හෙළි වී තිබේ. අධික ලෙස දුහුවිල්ල හේතුවෙන් ධාවන පථය ධාවකයන්ට නොපෙනී යාම මෙම අනතුරට මුල්වී ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම අනතුරින් මිය ගිය අය අතර අවුරුදු 08ක දැරිවියක් ද සිටින අතර මෙම අනතුරින් එම දැරිවියගේ 65 වියැති මිත්තනිය ද මිය ගියාය.

දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වැලිමඩ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි තත්සරනි චාමිනි(16), ඇල්ල කුඹල්වෙල ආඬිගල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. අශානි සෙව්වන්දි (18) හපුතලේ රත්කරව්ව නායබැද්ද ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. අනුත්තරා දේවින්දි (19) යන තරුණියන් තිදෙනා සමඟ තරුණයෙක් බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය පැවැසීය.

ඊට අමතරව දියතලාව රෝහලේ දැනට කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් 12ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.

මුත්තුසාමි උදයකුමාර් (65) පහළ කොටස, ඩයරබාවත්ත, වැලිමඩ.

ශිව කුමාර් දිනුෂිකා (08), පහළ කොටස, ඩයරබාවත්ත, වැලිමඩ.

චමත් නිරෝෂන් (19), අංක 186, රාජපක්ෂපුර, සීදූව.

රසික අබේනායක (32) යුද හමුදා සෙබළ, අංක 618, තල්දූව, අවිස්සාවේල්ල.

අරුණ ශාන්ත උපාලිගමගේ (72), අංක121, රාහුලපාර, මාතර.

අසේන් හීනටිගල (20), අංක821/10 ඒ, තරංගා වලව්වත්ත, අකුරැස්ස.

ගනේෂ් ජයවර්ධන (60), අංක 116/01, අකුරැස්ස පාර, ගොඩගම, මාතර යන අය මෙම අනතුරින් මියගොස් ඇත. මේ අය අතර සිටින හමුදා සෙබළා කොස්ගම සාලාව කඳවුරේ සේවයේ නිරතව සිටින අතරතුර නිවාඩු ලබා මෙම තරගය නැරඹීමට පැමිණ සිටියදී අනතුරට මුහුණදී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

රාජිත උලුවිට (31), ඩබ්.එම් පුබුදු (30 ), ඊ.එන්.ඒ ඩිලාන්(25), එන්. නිරෝෂන් (35), ඩිලාන් අදිකාරි (47), එල්.එන්. ධනුස්ක ලියදිපිටිය (45), අසිත හපුආරච්චි (26), කමල් ශ්‍රී රංගම් (27), ඒ ක්‍රිසාන්ත (42 ), සාමික චතුරංග (27), බී.පී.එන්. සාමින්ද (26) – කැඩෙට් නිලධාරි, ඩබ්.නදීකා දිල්හානි (29, අසිනි සෙව්වන්දි (18 ), ඉරේෂා මධුෂානි (31),

කේ.ඒ. අනුත්තරා දේවින්දි (19), ආර්.එම්. රණසිංහ (37), එම්.විජේකුමාර (35), උදිත උමේස් (22), එම්. තරින්දි (16) යන අය තුවාල ලැබූවන් බව පොලිසිය කියයි.

තුවාලකරුවන් අතර යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරියකු ද සිටින බව පොලිසිය කියයි.

බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා පෙරේදා (21) පස්වරුවේ අනතුර සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබීය. පසුව දියතලාව මූලික රෝහලට පැමිණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

මෙම මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මඟින් සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා පොලිසියට නියෝග කරනු ලැබීය.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එම්. උපුල් චන්දන, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සොරණාතොට සමූහ – සී. ගමගේ , බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT