Home » මැදිහත් සිතැති ඇතුලත්මුදලි
මීට වසර 31කට පෙර ඝාතනය වුණු අදීන දේශපාලනඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි.

මැදිහත් සිතැති ඇතුලත්මුදලි

by sachintha
April 23, 2024 2:01 am 0 comment

ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මඟ තුළ මහත් හරසරින් ජනතා බුහුමන් ලැබිය හැකි දේශපාලකයින් වේ නම් ඒ අතළොස්සකි. මෙයින් ද තෝරා බේරාගත් කල ජනතාව අතර තවමත් ජීවත්වන්නකු වේ නම්, ඒ ලලිත් ඇතුලත්මුදලි මහතාය. මීට වසර 31කට පෙර කිරුළපන පොදු ක්‍රීඩාංගණයේදී ඝාතනය කරනු ලැබුවේ ජනතා පොදු මෙහෙවර වෙනුවෙන් තම කාලය කැප කළ එවන් වූ උදාර මිනිසෙකි.

ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි වූ ඔහු තම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් එක්වූයේ කොළඹ කාන්තා විද්‍යාලයටයි. පිරිමි ළමුන් කිහිපදෙනෙකුට පමණක් කාන්තා විද්‍යාලයේ එවක අධ්‍යාපනය ලැබීමට වූ අවස්ථාව ලලිත් ඇතුලත්මුදලිට ලැබුණේ එලෙසිනි. කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ඔහු හමාර කරන්නේ 1942 වසරේදී රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමත් සමඟිනි. එහෙත් කෙටි කලකින් යළිත් ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළු වූයේ දෙවන ලෝක යුද්ධයේ බලපෑම කොළඹ නගරයට ද දැනෙන්නට වූ හෙයිනි. ඉන්පසු කලෙකින් යළිත් රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ඔහු ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එහි අඩිතාලම දමාගන්නට විය. එවක අධ්‍යාපනයට පමණක් සීමා නොවූ ඇතුලත්මුදලි ශිෂ්‍යයා මලල ක්‍රීඩාව තුළින් ද දක්ෂතාවයන් දක්වන්නට සමත් විය. එහිදී 1952 වසරේදී 16න් පහළ කඩුලු පැන දිවීමේ 16 න් පහළ වාර්තාව හිමිකර ගන්නට සමත් විය.

පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව එහි අධ්‍යාපනය ඉගෙන ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔහු 1955 වසරේදී බ්‍රිතාන්‍ය‍ෙය් ඔක්ස්ෆර්ඩ් සරසවිය හා එක්විණි. 1958දී ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් හෙතෙම 1956 වසරේදී කනිෂ්ඨ කාරක සභාවට තරගකොට එහි ලේකම් ධුරය දිනාගැනීමට සමත් විය. එමෙන්ම 1957 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ආරම්භක සභාපතිවරයා වූයේ ද ලලිත් ඇතුලත්මුදලි මහතාය. නොවැම්බර් 26දා යනු ලලිත්ට කිසිදු දිනෙක අමතක නොවන දිනයකි. එනම් ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ එදිනටය. එමෙන්ම ඔහුට එය තවත් සුවිශේෂී වන්නේ 1957 නොවැම්බර් 26දා ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට තරගකොට ඉන් ජය ලැබීමය. 1960දී ඔක්ස්ෆර්ඩ් සරසවියේ BCL සහ ML උපාධිය දිනාගත් හේ 1962 වසරේදී ශිෂ්‍යත්වයක් මත හාවඩ් නීති විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී LLM උපාධිය ලබාගන්නටත් සමත් විය.

සරසවි අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඇතුලත්මුදලි මහතා සිංගප්පූරු සරසවියේ නීති කථිකාචාර්යවරයකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළේය. ඉන්පසු ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලයේ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මෙන්ම අලහබාද් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන්නට විය.

දේශපාලන ගමන් මඟ

ඉන්පසු ලාංකේය ජන ජීවිතයේ අඩුලුහුඬුකම් දැනගත් හෙතෙම එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නේ 70 දශකයේදීය. අගලවත්ත ආසනයේ ආසන සංවිධායක ලෙස ඔහු පත්වීම් ලබන්නේ 1973 මැයි 23 වනදාය. මේ වන විට එම වසරේදීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම් කමිටුවට සම්බන්ධ වූ ඇතුලත්මුදලි මහතා 1977 මහමැතිවරණයට ඉදිරිපත් වූයේ රත්මලාන ආසනය නියෝජනය කරමිනි. මෙහිදී ඡන්ද 19,972ක් ලබාගනිමින් ජයග්‍රහණය කළ හෙතෙම ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයා ලෙසින් කටයුතු කරන්නට විය. තමා භාරගත් අමාත්‍ය ධුරයට අමතරව ඔහුට තවත් වගකීමක් පැවරිණි. එනම් නාවික අමාත්‍ය ධුරයෙහි ද වගකීම් දැරීමටය. කොළඹ වරාය කන්ටේනර් සහිත වරායක් බවට පත්කිරීම සිදු වූයේ ද ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා යටතේය.

කවරකු, කෙලෙසින් සඳහන් කළ ද ලලිත් ඇතුලත්මුදලි යන නාමය ජනතා සිත් දිනාගන්නට සමත් වූයේ 1981 වසරේදී මහපොළ භාරකාර අරමුදල පිහිටුවීමත් සමඟිනි. එදා පටන් මේ දක්වා මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හේතුවෙන් ඉන් ඵල ප්‍රයෝජන ගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනවේදීන් අපමණය.

ඉන්පසුව ලලිත් ඇතුලත්මුදලි මහතාට ලැබුණේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. 1984 වසරේදී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඔහුව ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසින් පත් කළේය. මෙතැන් සිට ඔහු යුද හමුදාවේ සහ පොලිසියේ ප්‍රතිසංස්කරණයන් ආරම්භ කරන්නට විය. මේ යටතේ හමුදා සාමාජික සංඛ්‍යාව හතර ගුණයකින් වැඩිකරන්නට සමත් වූ අතර මහත් කතාබහට ලක්වූ වඩමාරච්චි මෙහෙයුම සිදුවූයේ 1987 වසරේදී ඔහුගේ අධීක්ෂණය යටතේය. මේ අතර ඉන්දු – ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමට කටයුතු යෙදුණු අතර ලලිත් ඇතුලත්මුදලි මහතා සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කළ අය අතර ඉදිරියෙන්ම සිටි අයෙක් විය. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ තීරණාත්මක මොහොතකට ඔහුට මුහුණදීමට සිදුවූයේ 1987 අගෝස්තු මස 18 වනදා සිදුවූ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයත් සමඟිනි. මින් එක් මන්ත්‍රීවරයකු සහ නිලධාරිවරයකු ජීවිතක්ෂය පත්වුවද එදින ඔහුගේ ජීවිතය රැකුණි.

වැඩිම මනාප

සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමත් සමඟ 1989 පැවති මහමැතිවරණයට තරග කළ ලලිත් ඇතුලත්මුදලි මහතා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වූ 235,447ක් ලබා ගනිමින් ජය තහවුරු කර ගත්තේ ඔහු අන් සියලු දෙනාටම වඩා ජනතාවගේ සිත් දිනාගත් දේශපාලනඥයා බවට ඉඟි පළ කරමිනි. එවක ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධාන සංවිධායකවරයා විය. මෙම මැතිවරණයෙන් පසු ඔහුට ලැබුණු අමාත්‍ය ධුරය වූයේ කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර ඇමැතිකමයි.

ඉන්පසු ඇතිවූ දේශපාලනික ගැටුම් මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ ලලිත් ඇතුලත්මුදලි මහතා තවත් එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන්නට කටයුතු කළහ. ඉන්පසු ගාමිණී දිසානායක මහතා සමඟ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබුවේ රාජාලියා ලකුණිනි.

කිරුළපන රැලිය

1993 වසරේ අප්‍රේල් 23 වනදා යනු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දිවියේ අවසන් දිනය යැයි කිසිවකුත් නොසිතන්නට ඇත. කිරුළපන පොදු ක්‍රීඩාංගණයේදී එතුමාගේ කතාව අවසන්වීමත් සමඟ සැඟව සිටි ඝාතකයකුගේ අවිය, වේදිකාව මත සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා වෙඩි වරුසාවකින් නැහැවූවේ අවට සිටිය අයට සිතන්නටවත් ඉඩක් නොතබමිනි.

මෙම ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ද පරීක්ෂණ පවත්වන්නට විය. කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව රගුනාදන් නමැත්තකු ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතකයා බව හඳුනාගන්නට විය.

කොයි හැටි වෙතත් ලාංකේය දේශපාලන ගමන් මඟේ නොමැකෙන මතක, සිදුවීම් ගණනාවක් කතා කළ හැකි පරිද්දෙන් ඉතිරිකොට ලලිත් ඇතුලත්මුදලි මහතා මියගොස් අදට වසර 31කි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT