Home » මොරගහහේනේදී නොනවත්වා ගිය ත්‍රිරෝදයට පොලිසිය වෙඩි තැබීමෙන් පාතාලයෝ 2ක් මරුට

මොරගහහේනේදී නොනවත්වා ගිය ත්‍රිරෝදයට පොලිසිය වෙඩි තැබීමෙන් පාතාලයෝ 2ක් මරුට

-එකෙක් මත්තේගොඩ ‘සුද්දා’-අනෙකා ‘හප්පා’

by sachintha
April 24, 2024 1:03 am 0 comment

කොට්ටාව – ප්‍රදීප් කුමාර, මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ, අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න, බලපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ, නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා මොරගහහේන පොලිස් වසමේ මිල්ලෑව පුවක්වත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වූ දෙදෙනා නිවෙස් බිඳුම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

පොලිස් අණ නොතකා පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරමින් පලා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (23) අලුයම මියගිය බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල, සූරියගම 18 කනුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි (මත්තේගොඩ සුද්දා) 42 සහ මත්තේගොඩ නො. 455 හි පදිංචිව සිටි යුද හමුදා විශේෂ බළකායෙන් පලාවිත් සිටින සෙබළකු වන සූරියආරච්චිගේ ඉමේෂ් ධනුෂ්ක දර්ශන නොහොත් (හප්පා) 36 නමැති අය බව පොලිසිය කියයි. ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය සඳහන් කළේය. මෙම පුද්ගලයන් දෙදෙනා තවත් පුද්ගලයකු සමඟ මීගොඩ දෙස සිට මොරගහහේන දෙසට රතු පැහැති ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී බෙරුකැටිය හන්දිය ආසන්නයේ මාර්ග බාධකයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථය නවත්වන ලෙසට සංඥා කළත් එය නොනවත්වා පොලිසියට ද වෙඩි තැබීමක් සිදු කොට මොරගහහේන දෙසට ධාවනය කර තිබූ බව පොලිසිය කියයි.

වෙඩි තබා පලා යමින් තිබුණු ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මේ බව අවට පොලිස් ස්ථාන වෙත පොලිස් නිවේදන මඟින් දන්වා ඇත. මොරගහහේන පොලිස් වසමේ මිල්ලෑව පුවක්වත්ත ප්‍රදේශයේ ටයර් කම්හලක් අසල මාර්ග බාධකයක රැඳී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ද එම තොරතුර ලැබී තිබිණි.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථය මාර්ග බාධකය අසලට එද්දී එය නවත්වන ලෙස සංඥා කළත් නොනවත්වා ධාවනය කිරීම නිසා ඒ පසුපස හඹා යද්දී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වූ අවස්ථාවකදී පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථය අසලට එද්දී එහි සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

එම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනකුට වෙඩි වැදී තුවාල සිදුව තිබූ අතර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලිසිය කියයි. මෙම අවස්ථාවේදී එක් අයකු අසල රබර් වත්තට පැන පලාගොස් තිබේ. කසුන් ලෙස හඳුනාගෙන සිටින ඔහුව සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිට ඇත්තේ ඉකුත් 7 වැනි දින මොරගහහේන මාලොස් ඇළ හන්දියේදී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ සඳහා බව කියැවේ.

වෙඩි වැදුණු සැකකරුවන් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇත. මියගිය පුද්ගලයන් දෙදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේදී මත්තේගොඩ සුද්දා සහ හප්පා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

මත්තේගොඩ සුද්දා නමැත්තා මීට වසර දෙකකට පමණ ඉහතදී රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ අනුදැනුම මත රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව රහසිගතව විදේශගත වූ පාතාල ක්‍රියාකාරිකයකු වන වැලිඔය ප්‍රියන්ත නමැත්තාගේ සමීපතමයකු බවත් පොලිසිය සඳහන් කරයි. මත්තේගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ උපන් පුද්ගලයකු වන ඔහු ඇතුළු තවත් කිහිපදෙනකු සමඟ මත්තේගොඩ ප්‍රදේශයේ මීට වසර දහයකට පමණ පෙර පැවති කානිවල් එකක් අවසානයේ නිවෙසට යමින් සිටි කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ පිරිසකට මත්තේගොඩ සල්ගස් හන්දියේදී තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකොට තණමල්විල ප්‍රදේශයට පලා ගොස් සැඟව සිටි අයකු බවත් එහිදී ලිපිනයන් මාරුකොට කේරළ ගංජා හා අයිස් ජාවාරමේ නිරතව සිටි අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.

ඊට අමතරව 2023.අගෝස්තු 04 වැනිදා කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසකට වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට ද තොරතුරු අනාවරණය වී තිබූ අතර ඉන්පසුව සැඟව සිටි සැකකරු මත්තේගොඩ පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී මත්තේගොඩ බස් නැවතුම්පොළ අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉන්පසුව ඉකුත් මාර්තු 23 වැනිදා මත්තේගොඩ දීපංගොඩ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී සොරාගත් යතුරුපැදියක් සමඟ සුද්දා ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් අතර එම යතුරුපැදිය ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් එකක් බවත් එම ආයතනයේ සේවකයකුගේ පරිහරණයට ලබාදී තිබියදී කහතුඩුව ප්‍රදේශයේදී සොරකම් කර තිබූ බවත් අනාවරණය වී තිබූ අතර පසුව සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට ඉකුත් මාර්තු 18 වැනිදා ඇප මත නිදහස් කර තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මීට අමතරව 2002.12.26 දින ගිනි අවියක් සමඟ මත්තේගොඩ සුද්දා කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරදකරුවකු වූ අයකු බව ද පැවසේ. මීට අමතරව 2017 සිට අයිස් සහ ගංජා ජාවාරම සම්බන්ධයෙන් සැකකරු දොම්පේ, පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම්වලින් අත්අඩංගුවට ගත් අයකු බව ද පැවසේ.

මීට අමතරව ඉමේෂ් ධනුෂ්ක දර්ශන නොහොත් (හප්පා) නමැත්තා 2010 වසරේ සිට 2023 දක්වා කහතුඩුව මත්තේගොඩ සහ මොරගහහේන පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට හා හෙරොයින් හා ගංජා ජාවාරමේ නිරත වූ අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගත වූ අයකු බවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවට ලේඛනගත වී ඇති මොහු යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කොට ඉන් පලා ගිය අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT