Home » හොර යතුරු හදාගෙන කලවාන මූල්‍ය ආයතනයක සේප්පුව ඇර කෝටි 7ක උකස් රන් බඩු උස්සලා

හොර යතුරු හදාගෙන කලවාන මූල්‍ය ආයතනයක සේප්පුව ඇර කෝටි 7ක උකස් රන් බඩු උස්සලා

- රන් අලෙවි නිලධාරියා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

by sachintha
April 24, 2024 1:04 am 0 comment

මූල්‍ය ආයතනයක කලවානේ පිහිටි ශාඛාවකට හොර රහසේ ඇතුළු වී සේප්පුව විවෘත කර ඒ තුළ තිබුණු රුපියල් කෝටි 07ක පමණ වටිනාකමක් සහිත උකස් තැන්පතු ලෙස තිබුණු රන් භාණ්ඩ තොගයක් සොරාගත් එම මූල්‍ය ආයතනයේ රන් අලෙවි නිලධාරියාත් ඒ සඳහා ඔහුට සහාය දැක්වූ බව කියන ණය අංශයේ නිලධාරියාත් එම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 04ක් යන්නට මත්තෙන් කලවාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් හයකෝටි අනූ එක් ලක්ෂ විසිඅට දහස් තුන්සිය පනස් හතක් වටිනා රන් කිලෝ 03යි ග්‍රෑම් 770ක් මෙසේ සොරාගෙන ඇති අතර එම රන් භාණ්ඩ තොගයම රන් අලෙවි නිලධාරියාගේ නිවෙස පිටුපස ඇති වෙලක වළ දමා තිබියදී ගොඩගෙන ඇත.

එම රන් භාණ්ඩ අතර මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් අතුළු විවිධ වර්ගයේ රන් භාණ්ඩ තිබී ඇතැයි පොලිසිය කියයි.

මූල්‍ය ආයතනයට පැන මෙම සොරකම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කලවාන දොලහේනේ පදිංචි සුරංජිත් බණ්ඩාර (33) නමැති රන් අලෙවි නිලධාරියාත් මෙම සොරකම ගැන දැන සිට එය හෙළි නොකර ඊට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කලවාන පොතුපිටියේ පදිංචිකරුවකු වන ණය අංශයේ නිලධාරි තිවංක ජයසේකර (26) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල අදාළ මූල්‍ය ආයතනයේ වැඩ බලන කළමනාකරු විසින් කලවාන පොලිසියට කර ඇත්තේ පෙරේදා (22) උදෑසන 8.00ට පමණය. පොලිසියට ඔහු පවසා ඇත්තේ පසුගිය 20 වැනිදා සවස 2.00ට වසා නැවත උදෑසන මූල්‍ය ආයතනය විවෘත කරන විට එය හොරු බිඳ සේප්පුවේ තිබූ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවය. සොරුන් විසින් එම මූල්‍ය ආයතනයේ ආරක්ෂක කැමරාවේ දත්ත පද්ධතිය පවා ගලවාගෙන ගොස් තිබේ.

වැඩබලන කළමනාකරු පොලිසියට පවසා ඇත්තේ උදෑසන මූල්‍ය ආයතනය විවෘත කිරීමට යෑමේදී ප්‍රධාන දොරට දමා තිබුණු ඉබි අගුල් 04න් විවෘත කිරීමට හැකි වූයේ එකක් පමණක් බවය. මෑතකදී මෙම ආයතනයට බඳවා ගත් ආරක්ෂක නිලධාරියා ඉබි යතුරු මාරු කර ඇති බවට සැකකරමින් කළමනාකරු විවෘත නොවූ ඉබි කඩා කාර්යාලය තුළට ගොස් තිබේ. එහිදී දැක ඇත්තේ දොර ජනෙල් බිඳ කාර්යාලය තුළ යකා නටා ඇති අයුරුය. වහාම ක්‍රියාත්මක වූ කළමනාකරු මේ ගැන කලවාන පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමෙන් අනතුරුව කාර්යාලයේ ඇති සේප්පු තුන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් ඉදිරියේය. එහිදී සේප්පු දෙකක් යතුරුවලින් පහසුවෙන් විවෘත වුවත් රන් තැන්පතු තිබුණු සේප්පුව යතුරෙන් විවෘත වී නැත. එබැවින් කලවානේ පිහිටි සහෝදර බැංකු ශාඛාවක ආරක්ෂාවට තිබුණු එම සේප්පුවේ අමතර යතුර ගෙන්වාගෙන කළමනාකරු එම යතුර දමා විවෘත කිරීමේදී සේප්පුව විවෘත වී ඇත. එහෙත් ඒ තුළ තිබුණු රන් භාණ්ඩ සියල්ලක්ම සොරාගෙන ගොස් තිබී ඇත.

මෙහිදී පොලිසිය කළමනාකරු සමඟ එක්ව බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ ඩෙකෝඩරය පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ එය ද සොරාගෙන ගොස් ඇති බවය. එය සොරා ගත්ත ද මෑතකදී මෙම මූල්‍ය ආයතනයේ ආරක්ෂක කැමරා පද්ධතිය නව තාක්ෂණය සමඟ නවීකරණය කිරීම හේතුවෙන් දර්ශන වෙනත් ස්ථානයක පටිගත වී තිබී ඇත. ඒ තැනින් දර්ශන එකින් එක පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මෙම සොරකම රන් අලෙවි නියෝජිත සුරංජිත් බණ්ඩාර විසින් සිදු කරන ලද බවයි.

පසුගිය 20 වැනිදා සවස 2.00ට මූල්‍ය ආයතනය වසා කළමනාකරු ඇතුළු පිරිස පිටව ගිය පසු රන් අලෙවි නිලධාරියා කාර්යාලය වෙත පැමිණ දොරගුළු විවෘත කර මෙම සොරකම සිදු කර ඇති බව පැහැදිලිවම එහිදි හෙළිවී තිබේ.

වසර ගණනාවක් තිස්සේම මෙහි සේවයේ නිරතව සිටින විශ්වාසවන්තම සේවකයකු වූ මෙම රන් අලෙවි නිලධාරියා කොතරම් විශ්වාසවන්ත ලෙස සලකා ඇත්තේ දැයි සඳහන් කළහොත් ආයතනයේ ප්‍රධාන දොරෙහි යතුරු තිබී ඇත්තේ ද ඔහු සන්තකයේය. එම යතුරුවලින් ඔහු ආයතනය විවෘත කර පසුව එම දොරෙහි තිබුණු ඉබි හතර කාර්යාලය තුළදී තළා වීසිකර ඇත්තේ සොරකුගේ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වීමටය. අනතුරුව ඔහු සේප්පුවත් විවෘත කර රන් භාණ්ඩ රැගෙන ආයතනයේ වීදුරු ජනෙල් හා දොරවල් ද කඩා ආරක්ෂක කැමරාවේ ඩෙකෝඩරයත් රැගෙන ගොස් ඇත්තේ වෙනත් ඉබ්බන් හතරක් එහි දමාය. අලුත් කැමරා ආරක්ෂක පද්ධතිය ගැන ඒ වන විට මෙම සැකකරු කිසිවක් දැන සිට නැත. 22 වැනිදා ඔහු කිසිවක් නොදන්නා අයකු ලෙස පොලිසියට පවා යන්නට ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවී ඇත්තේ සේප්පුවේ යතුරු දෙක සොරාගෙන එය ණය අංශයේ නිලධාරියා සමඟ යතුරු කපන්නකුට ලබාදී ඒ හා සමාන ලෙස ව්‍යාජ යතුරු දෙකක් මුලින්ම සකස්කර ගත් බවය. පසුගිය 20 වැනිදා කළමනාකරු විසින් සේප්පුව වසා දැමීමෙන් පසු යතුරු කැරැල්ලෙන් සේප්පුවේ යතුරු දෙක සොරාගෙන ව්‍යාජ යතුරු දෙක එම කැරැල්ලට දැමූ බව ද ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් හතර වටේ ඔහු ණය වී සිටි බැවින් ඉන් මිදීම සඳහා මෙම සොරකම කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව සිදු කර තිබෙන බව ද හෙළිවී ඇත. ණය අංශයේ නිලධාරියා ද රුපියල් ලක්ෂ 06ක ණයක් ලබාගෙන එය ගෙවීමට නොහැකිව සිටින බැවින් මෙම සොරකමට ඔහුව හවුල්කරගෙන ඇති බව පෙනී ගොස් තිබේ. එහෙත් ඔහු මෙම සොරකම දැන සිටියත් සොරකමට සක්‍රියව සම්බන්ධ වී නැති බව විමර්ශනයේදී හෙළිවී ඇත. මෙම සොරකම පසුගිය අලුත් අවුරුදු දිනවල සිදු කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ද හෙළිවී තිබේ. ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සොරාගත් රන් භාණ්ඩ ලීටරයේ ප්‍රමාණයේ අයිස්ක්‍රීම් භාජනයක දමා පොලිතින් උරයකත් පොහොර උරයකත් බහා වෙලේ වළ දමා තිබියදී ගොඩගත් බවත් සේප්පුවේ යතුරත් සොයා ගත් බවත් පොලිසිය කියයි. කලවාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් විජයතුංග මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මංගල (91164), පො.කො. සුපුන් (164553), පො.කො. කුලතුංග (42814) පො.කො. කැකුලන්දල (91578), කාන්තා පොලිස් සැරයන් ලක්මාලි (2748) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

රත්නපුර විශේෂ – එන්.පී. රාජදොරේ, කලවාන සමූහ – සේන ගමගේ, කලවාන සමූහ – සේන වේරගම, නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT