Home » සැබෑ ජාතිකත්වයක් ඇති ව්‍යාපාරයක් අවශ්‍යයි – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සැබෑ ජාතිකත්වයක් ඇති ව්‍යාපාරයක් අවශ්‍යයි – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

by sachintha
April 24, 2024 1:04 am 0 comment

විවිධ භික්ෂූන් යොදා ගනිමින් බෞද්ධ සම්ප්‍රදායට පටහැණි ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීම වරදක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකිරීමට ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවති විශේෂ සැමරුම් අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“මේ ප්‍රහාරයෙන් මෙරට ජාතිකවාදය වසල ජාතිකවාදයක් බවට පරිවර්තනය කළා. මේ වන විට රටට ආදරය කරන ආගමික අයිතිවාසිකම් පිළිගන්නා සැබෑ ජාතිකත්වයක් සහිත ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබෙනවා. එය විධිමත්ව ක්‍රියාවට නැංවීම පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට කළ හැකි සුදුසුතම උපහාරයයි.

අන්තවාදය පෝෂණය කරමින්, අහිංසක ජනතාව විපතට පත් කරමින්, දේශපාලන වාසි ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.

පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතුයි. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් විමර්ශන අංශ අදාළ ඇමැතිවරයාගේ සහ රජයේ අතකොළු බවට පත්වීම ගැටලු සහගතයි. බුද්ධි අංශ රාජ්‍ය ප්‍රතිවාදීන්ගේ දත්ත රැස්කිරීමට යොදා ගන්නා තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු රැස් කිරීම අඩපණ වෙනවා. එවැනි තත්ත්වයකදී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය, බුද්ධි අංශ සහ වෙනත් විමර්ශන අධිකාරීන් ස්වාධීන කළ යුතුයි. 2010 සිට 2015 දක්වා කාලයේදී ප්‍රධාන වැරදි තුනක් එවකට පාලකයන් සිදු කරනවා. කුමරන් පද්මනාදන් ඇතුළු අන්තවාදීන් රැසක් සාධාරණ හේතුවලින් තොරව නිදහස් කිරීමට පියවර ගත්තා. එමඟින් මධ්‍යස්ථ පිරිස් පාලනයට එවක රජය සැලසුම් කර තිබෙනවා. තව්හිද් ජමාත් සංවිධානය නිර්මාණය වීමට දැනුවත්ව ඉඩකඩ සැලසීමට පාලකයන් පියවර ගෙන තිබෙනවා. එයින් බෙදී ආ සහරාන් ඇතුළු පිරිස පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ බව හෙළි වුණා. ඔවුන් මඟින් මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන්ට අභියෝග කිරීමට හිටපු පාලකයන් ක්‍රියා කළා.”

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT