Home » ආර්ථික වශයෙන් වැටුණු රට සියලු දෙනා එක්ව ගොඩගත යුතුයි – මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි

ආර්ථික වශයෙන් වැටුණු රට සියලු දෙනා එක්ව ගොඩගත යුතුයි – මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි

by sachintha
April 24, 2024 1:00 am 0 comment

ආර්ථික වශයෙන් පසුබෑමට ලක්ව තිබෙන අවස්ථාවක දේශපාලන වාසි අපේක්ෂාවෙන් වෛරය, ක්‍රෝධය වැපිරවීම වෙනුවට සියලු දෙනා එක්ව රට ගොඩනැඟීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ලෝකයේ රටවල් වැටුණ අවස්ථාවල එකමුතුවී දියුණුව කරා ගියා. එනිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නව සංකල්පයක් ඔස්සේ කටයුතු කිරීම අවශ්‍යයි. මේ දවස්වල දේශපාලන කරළිය විවිධ හැලහැප්පීම් මැද තමයි ගෙවී යන්නේ. ඒ හැලහැප්පීම්වල ප්‍රධානම දිනයක් සනිටුහන් වෙනවා තව නොබෝ දිනයකින්. ඒ මැයි 01 වැනිදා. ලෝකවාසී කම්කරු ජනතාවගේ දවසේ. එදා දවස අපටත් විශේෂ දවසක්. සියලුම දේශපාලන පක්ෂ, අනුබද්ධ සංවිධාන, වැඩ කරන ජනතාවගේ සංවිධාන සියල්ලම ඒකාබද්ධ කරගෙන මහා දැවැන්ත මැයි රැලි පවත්වනවා. මැයි රැලියක වැඩිම වැඩිම වැඩ කරන ජනතාවක් එකතු කර වාර්තාවක් තියා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපි මැයි 01 වැනිදා කොළඹ, කැම්බල් පිටියේ සවස 2.00ට මැයි රැළියට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නැවත වතාවක් ග්‍රාමීය ආර්ථිකය සක්‍රිය කර ගන්න, ගමයි නගරයයි යා කරගන්න පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත්කරගැනීමේ සටන ආරම්භ කරනවා මැයි රැලියේදී. මේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂවල තරුණ වයසේ ඉන්න එකම ජාතික සංවිධායකවරයා සිටින පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ නිසා ඒ තරුණ නව ජාතික සංවිධායකවරයා සංවිධානය කරන පළමු මැයි රැළිය තමයි මේ මැයි රැළිය.

පාස්කු දා ප්‍රහාරය සිදුවන කාලයේ මේ රටේ විධායක ජනාධිපතිවරයා සහ මේ රටේ වගකීම් භාරව හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ නිසා ඒ මහතාට මේ කාරණාවේදී බැහැරවෙන්න පුළුවන්කමක් නෑ. යුද්ධය සාර්ථක වූ නිසා මහින්ද රාජපක්ෂ මහතාට පැසසුම් ආවා. හැබැයි යුද්ධය අසාර්ථක වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. විධායක ජනාධිපතිවරයා විදිහට කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දා ප්‍රහාරය සම්බන්ධව මඟ අරින්න පුළුවන්කමක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතාට අප්‍රේල් 21 දෛවෝපගත දිනයක්. ඒ නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට කළ විනාශය ගැන අමුතුවෙන් අපට හිතන්න දෙයක් නෑ.

යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හොඳම ගෝලයා තමයි සජිත් ප්‍රේමදාස මහතා. හම්බන්තොට වරාය අමුඅමුවේ විකුණනකොට අත්දෙක බැඳගෙන හිටියා. පාස්කු දා ප්‍රහාරය වෙනකොට ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එච්චර තනතුරු තියාගෙන එදා පාස්කු දා ප්‍රහාරය සිදු වුණාට පස්සේ එක දවසක් ඉදිරියට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මහතා කතෝලික ජනතාව වෙනුවෙන් කතා කළා ද? ”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT