Home » අවුරුදු කාලයේ බඩු මිලෙහි යම් අඩුවීමක් එජාප දඹදෙණිය ප්‍රධාන සංවිධායක භාරත තෙන්නකෝන්

අවුරුදු කාලයේ බඩු මිලෙහි යම් අඩුවීමක් එජාප දඹදෙණිය ප්‍රධාන සංවිධායක භාරත තෙන්නකෝන්

by sachintha
April 24, 2024 1:00 am 0 comment

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ අවුරුදු කාලයේ භාණ්ඩ මිලේ යම් අඩුවීමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ප්‍රධාන සංවිධායක භාරත තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ අවුරුදු කාලයේ භාණ්ඩ මිලෙහි යම්කිසි අඩුවීමක් වෙලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ, සේවා සහ අවුරුදු සමයේ අත්‍යවශ්‍ය වන රෙදි පිළි, තෑගි භාණ්ඩ ගැනීමට ජනතාව විශාල පෝලිම්වල ඉන්න ආකාරයත් අපි දැක්කා. යම්කිසි ආකාරයක සැහැල්ලුවක් ජනතාව අත්විඳින බව අපට හොඳටම පේන්න තිබෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතා තිබෙන පවුල් ලක්ෂ 24ක් තෝරගෙන හාල් කිලෝ දහය බැගින් දීමට ජනාධිපතිවරයා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මීට පෙර ලක්ෂ විස්සකට අස්වැසුම දී ඒ පවුල් නඟාසිටුවන්නට ක්‍රියා කළා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කිසිවකුත් අතහැර හෝ පසුකර යන්නට මේ වැඩසටහන්වලදී ඉඩ ප්‍රස්ථාව දෙන්නේ නෑ කියලයි. එයින් අදහස් කළේ දේශපාලනික භේදයකින් තොරව අවශ්‍යම පුද්ගලයාට මේ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදය සකස් කර තිබෙන බවයි. දැන් තිබෙන්නේ අස්වැසුම සහ හාල් පෝලිම් කියන එක අපට හොඳටම තේරෙනවා. පසුගිය සතියේ තිබුණේ ඇඳුම් පෝලිම් සහ කඩ සාප්පුවල භාණ්ඩ මිලදී ගැනීමේ පෝලිම් කියන එක අපට දකින්න තිබෙනවා. මීට පෙර අපි දැක්කේ දුකෙන්, බයෙන්, අවිනිශ්චිතභාවයෙන් ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල හිටපු ජනතාවක් කියන එක අපි මතක් කර ගත යුතුයි.”

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා

“යහපත් ආර්ථික කළමනාකරණයක් එක්ක රටේ ආර්ථිකය යහපත් වෙමින් තිබෙන බව පෙනෙනවා. ඒ වගේම තවත් අය අහන ප්‍රශ්නයක් තමයි, දැන් හොරු ඇල්ලුවා ද? හොරුන් ආරක්ෂා කරනවා ද? රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා පියවර මොකක් ද? කියලා. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යම් යම් චෝදනාවලට ලක්වෙලා රිමාන්ඩ් බන්ධනාගාරයට පත්වෙලා ඒ කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් කිසිඳු ආණ්ඩුවක් පහුගිය කාලයේ එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. අධිකරණ ක්‍රියාමාර්ග සියල්ලම ඉතා පැහැදිලිව විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙනවා කියලා අපට කියන්න පුළුවන්.

ඒ වගේම පාස්කු දා ප්‍රහාරයේ ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වපු ඊබ්‍රහිම් කියන පුද්ගලයාත්, ඔහුගේ පුතුන් දෙදෙනාත්, බිරියත් එම ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුතු අය කියන කාරණය අපි පැහැදිලිව දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා සහ පුතාගේ බිරිය මේ ප්‍රහාරයට සම්බන්ධයි කියද්දී නැවත ජනතා විමුක්ති පෙරමුණ කාදිනල්තුමා හම්බවෙලා මේ කරන විහිළුව කුමක්දැයි කියන එක රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයකට කෙනෙක් තෝරාපත් කරනවයි කියන්නේ ඒක විශාල වගකීම් සහිත කාරණයක් කියන එක අපි තේරුම් ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ එදා තමන්ගේ ජාතික ලැයිස්තුවට ඊබ්‍රහිම් තෝරාපත් කර ගන්නේ ඒ විශ්වාසය තුළ නම් එම පාස්කු දා ප්‍රහාරයේ ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළ යුතුව තිබෙනවා. තමන්ගේ වැරදි වසං කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දරන මේ උත්සාහය පරාජය කළ යුතු වෙනවා.”

නෙත්මි පූජනී රත්නායක සහ මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT