Home » නරියාකන්ද ධාවනපථ අනතුරින් මියගිය ජයවර්ධන – ගමගේ සුමිතුරන්ගේ ඛේදජනක සමු ගැනීම

නරියාකන්ද ධාවනපථ අනතුරින් මියගිය ජයවර්ධන – ගමගේ සුමිතුරන්ගේ ඛේදජනක සමු ගැනීම

-එකට අකුරු කර දසක හයක් එකට සිටි අඹයාළුවෝ අවසන් ගමනත් එකටම යති

by sachintha
April 24, 2024 1:54 am 0 comment

‘ජීවිතං අනියතං මරණං නියතං’ ජීවිතය අනියතය, මරණය නියතය. ඒ බුදුන් වහන්සේ දේශනා කළ එක් බුදු වදනකි. කිනම් හෝ හේතුවක් මත මේ ජීවන භවය තුළට මිනිසුන් ලෙස පැමිණීමේ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිය ජීවිත ගමන අවසන් කර යා යුතුව ඇත්තේය. එය සොබාදහමේ නියමයකි. එහෙත් අප යන්නේ කවදාද කිනම් ආකාරයෙන්ද යන්න කිසිවකුත් ගිවිසාගෙන නැත්තේය. මාරයා අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය. දියතලාව නරියාකන්ද ඛේදවාචකයෙන් අපට මනා සේ පෙන්වා දෙන්නේ එම නිත්‍ය වූ සත්‍යයි.

මේ අතරතුර පෙර භවයේ සිට පතා ආ ලෙස ඇතැම් අය එකටම හැදී වැඩී, එක පාසලේ එකට සිට අකුරු කර පාසල් කාලයෙන් පසුවද අඹයාළුවන් සේ හැසිරෙමින් සිට එකටම අවසන් ගමන් යන සුමිතුරන් ඇතැම් විට අප සමාජයේදී දක්නට ඇත. ඊට කදිම උදාහරණයක් සපයන සිදුවීමක් නරියාකන්ද මෝටර් රථ අනතුරෙන් පසු අපට දැකගත හැකි වූයේ මාතරදීය. ඒ මාතර ප්‍රදේශයේ ඉපිද පුංචි සන්දියේ පටන් මාතර රාහුල විද්‍යාලයේ එකම පන්තියේ අකුරු කරමින් සිට, පාසල් කාලය හමාර කිරීමෙන් පසුවද පාසල් කටයුතු, ක්‍රීඩා සමාජ කටයුතු වෙනත් සමාජශීලි ක්‍රියා ඇතුළු සියලු සංවිධානාත්මක ක්‍රියාකාරකම්වලදී එකටම සිටි මිතුරන් දෙදෙනකු වූ ගනේෂ් කමලනාත් ජයවර්ධන (61) හෙවත් ජයවර්ධන අයියාත්, අරුණ ශාන්ත උපාලි ගමගේ (62) හෙවත් ගමගේ අයියාත් නරියාකන්ද රිය අනතුරේදී ජීවිතක්ෂයට පත් වූයේ මෝටර් රථ ධාවන තරග ක්‍රීඩාවට තිබූ අසීමිත ආසාව නිසාම මාතර සිට දියතලාව නරියාකන්දට ගොස් තරගයේ රාජකාරි කරමින් සිටියදී වීම විශේෂ අවස්ථාවකි.

එලෙස එකම තැනකදී එකට සිටිමින් අවසන් සුසුම් පොද වාතලයට මුසු කළ ජයවර්ධන හා ගමගේ දෙදෙනාගේ දේහයන්ද එකම තැනට එකට තබා තිබුණේ ඔවුන්ගේ නොබිඳුණු මිත්‍රත්වය අවසන් මොහොතේත් එකට තබමින් වීම විශේෂ අවස්ථාවකි. ඉකුත් ඉරුදින පස්වරුවේ මාතර වල්ගම සණස මල්ශාලාව වෙත රැගෙනා ආ ජයවර්ධන අයියාගේ සහ ගමගේ අයියාගේ දේහයන් එහි අවමංගල්‍ය ශාලාව තුළ එකට සිටින තේ තැන්පත් කර තැබුණේ දෙපාර්ශ්වයේ සියලු දෙනාගේ ඒකමතික තීරණ මතය.

මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුතුමියක වූ නිල්මිණි දීපිකා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ගනේෂ් ජයවර්ධන කවිති ජයවර්ධන, මල්මී ජයවර්ධන හා සඳරු ජයවර්ධන යන දියණියන් තිදෙනාගේ දයාබර පියා විය. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වූ අරුණ ශාන්ත උපාලි ගමගේ විශ්‍රාමික ගුරුතුමියක වූ ඩී.ජී. පද්මිණී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ අතර, මල්ෂා ගමගේ සහ මතිෂා කාවින්දි ගමගේ යන දියණියන්ගේ දයාබර පියා විය.

‘මාතර සදර්න්’ මෝටර් රථ ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරි සාමාජිකයන් දෙදෙනකු වූ ජයවර්ධන හා ගමගේ මාතර එළියකන්ද කඳු තරණය, යතුරුපැදි හා මෝටර් රථ තරගාවලිය ඇතුළු මෝටර් රථ තරග සඳහා නිරතුරු සිය දායකත්වය දෙන අතර, තම දියණිවරුන්ද මේ සඳහා සම්බන්ධ කරගැනීමට ඔවුන් නිරතුරුව කටයුතු කර තිබිණි. එහෙත් මෙවර දියණියන් නැතිව, දියණියන්ගේ අකැමැත්ත මත ඔවුන් නරියාකන්ද මෝටර් රථ තරගාවලියට එක්ව සිටියේ එය මාරයාගේ කැඳවීමක් නිසාම වන්නට ඇත. මාතරින් එකටම ගමන් ගත් ජයවර්ධන හා ගමගේ මෝටර් රථ ධාවන තරගයේ තම රාජකාරි කටයුතු කරමින් සිටියේද එකම ස්ථානයේ වීම ඊට කදිම සාක්ෂියකි.

දියතලාව මූලික රෝහලේ සිට මාතරට රැගෙන ආ මිතුරන් දෙදෙනාගේ දේහයන් මාතර වල්ගම සණස මල් ශාලාවේ එකම ස්ථානයක තැන්පත් කර තබා එකටම, එකම ස්ථානයකදී අවසන් කටයුතු සිදු කරන්නට තීරණය කර තිබුණේ මිතුරන් දෙදෙනාට කරන ගෞරවයක් ලෙස බව පවුලේ ඥාතියෙක් හැඟුම්බරව පැවසුවේය.

“ජයවර්ධනයි, ගමගේයි දෙන්නම රාහුලේ අපේ අසූවෙ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෝ. ඒ දෙන්නා හැමදාම එකට හිටියේ. ජයවර්ධන, කැඩෙට් කණ්ඩායමේත්, පාසල් ට්‍රැෆික් කණ්ඩායමේත් සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඔහු හොඳ මැරතන් ධාවකයෙක්. උපාලි ඕනෑම සංවිධායක වැඩකට තම දායකත්වය දීපු හොඳම හොඳ යාළුවෙක්. දෙන්නා එකට හිටියා වගේම අවසන් ගමන ගියෙත් එකටම වීම අපිට හිතාගන්නවත් බැරි දෙයක්” රාහුල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයකු වූ මාධ්‍යවේදි අමිත් කරුණාරත්න මහතා පැවසුවේය.

මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වූ ගනේෂ් ජයවර්ධන වැඩි කාලයක් රාහුලයේ දරුවන් හා කාර්ය මණ්ඩලය සමඟ ගත කළේ ඔහු බෙහෙවින් ආදරය කළ රාහුලේ බස් රථයේ රියැදුරු ලෙස තම දායකත්වය දෙමිනි. ඔහුගේ රියැදුරු කාර්යය හැමදාම දරුවන්ගේ ‍ආරක්ෂාව තහවුරු කරන්නක් විය. විටෙක සියලු දරුවන්ගේ පියා වූයේද ජයවර්ධනය. එය පාසලට මහත් අස්වැසිල්ලක් විය.

සෑම දිනකම උදෑසන විවෘත වන උපාලි ගමගේ වෙළෙඳ‍ෙල අද දොරගුළුලා ඇත්තේය. වෙනදා පත්තරයක් අතින් ගෙන උපාලි සමඟ කතාබහේ යෙදෙන මිතුරෝ එහි නැත. වෙළෙඳලේ ඉදිරිපස වෙනදා සුළඟට වැනෙමින් තිබූ එල්ලන ලද පුවත්පත් වෙනුවට අද එහි ඇත්තේ ශෝකීබරව සුළඟට ලෙළ දෙන සුදු කොඩියක් පමණි.

ඊයේ (23) මළ හිරු බැස යමින් තිබියදී දශක හයක් පුරා එකට සිට මිතුදම් පවත්වාගෙන ගිය අඹයහළුවන් දෙදෙනා වූ ගනේෂ් ජයවර්ධන සහ උපාලි ගමගේ තම බිරින්දෑවරු, දියණියන් මෙන්ම ඥාති හිතවතුන් සියලු දෙනාගෙන් වෙන්ව මාතර පොදු සුසාන භූමියේදී එකම දිනක, එකම මොහොතක, එකටම සිටිමින් අවසන් ගමනද නිමාවට පත් කළේ රැස්ව සිටි සියලු දෙනාගේ නෙතු කඳුළින් පිරියද්දීය.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT