Home » ජනතා නායකයාණනි ඔබට නිවන් සුව!

ජනතා නායකයාණනි ඔබට නිවන් සුව!

by sachintha
April 24, 2024 1:53 am 0 comment

“මම දේශපාලනඥයෙක් තමයි. ඒත් දේශපාලනය මෙතැනට මට අදාළ නෑ. මම මේවා කරන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි. ගංවතුරට යට වුණු, නායයෑමට හසු වුණු ජනතාව බේරාගන්න මම ගියේ කිසිම පාට පක්ෂ භේදයක් නැතිවයි; ඒ වගේම ජාති ආගම් භේදයක් නැතිවයි. මට වේයන්ගල්ල මුස්ලිම් ජනතාවත්, මාරගහදෙණිය දෙමළ ජනතාවත්, පාහියන්ගල සිංහල ජනතාවත් එකයි. අපි ඔක්කොම මනුෂ්‍යයෝ කියන එකයි මට වැදගත් වුණේ.

ජනතාවගේ කඳුළ වේදනාව තුළින් මනාප ගොඩ වැඩි කරගන්න තරම් මම බංකොලොත් දේශපාලනඥයෙක් නොවෙයි.”

මේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 2017 වර්ෂයේ පස්දුන් රට ජනතාව මුහුණ දුන් ආපදා තත්ත්වය පිළිබඳ සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලියුම්කරු හා සිදු කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද වාක්‍ය කිහිපයකි.

පාලිත තෙවරප්පෙරුම කවර ගණයේ අයකුද යන්න පිළිබඳ තීරණය කිරීමට මේ වාක්‍ය කිහිපයම ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. එය හුදෙක්ම වචනවලට සීමා වූවක් නොවන බව මා මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හොඳාකාරවම දන්නා බැවිනි. වාමවාදී දේශපාලන බළකොටුවක් වූ පස්දුන් රට දේශපාලනය උඩු යටිකුරු කිරීමට සමත් වූ පාලිත තෙවරප්පෙරුම ජනතාවට සමීප වනුයේ වඩාත් ප්‍රායෝගික තලයේ දේශපාලනඥයකු ලෙසය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සමාජ දේහය තුළ දේශපාලනඥයන්ට ඇති පිළිගැනීම හා ගෞරවය දැඩි නායයෑමකට ලක් වූ වකවානුවකි. ඒ අතර පාලිත තෙවරප්පෙරුම නම් දේශපාලනඥයාට සමාජය තුළ ඇති පිළිගැනීම ගෞරවය ඔහුගේ මරණයත් සමඟ සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ප්‍රකාශ මඟින් මැනවින් පැහැදිලි වේ.

අදින් වසර 64කට පෙර මතුගමට නුදුරින් යටදොළවත්ත නම් සුන්දර ගම් පියසේ ජන්මලාභය ලැබූ පාලිත අව්‍යාජ ගැමි සුවඳ දෝතින් දරා ගත් අයෙකි. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ඔහුගේ අධ්‍යාපනයේ ජයබිම විය. තරුණ වියේදීම ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වන ඔහු කලක් රට වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටු කළේය. පියාගෙන් උරුමව තිබූ වාමවාදී දේශපාලනයට නැඹුරු වූ පාලිත තුළින් අනාගත ජනතාවාදී නායකයකුගේ පෙරමඟ ලකුණු මැනවින් දිස් විය.

වර්ෂ 2002දී පැවැති පළාත් පාලන මැතිවරණය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහයන්ගේ ඇරියුමින් පාලිත එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් විය. දීර්ඝ කාලයකට පසුව මතුගම ප්‍රාදේශී සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි කරදීමට තරම් ඔහුගේ ආගමනය ප්‍රබල විය. එහි සභාපතිවරයා ලෙස පස්දුන් රට අග නගරය වෙනුවෙන් ඔහු සිදු කළ විසල් මෙහෙය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව අද දක්වාම සැම දෙන අගයති. ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශීත කාමරයක සිට පරිපාලනය සිදු කිරීම සැම විටම ප්‍රතික්ෂේප කළේය. රියැදුරු නැති විට ඔහු කසළ ගෙන යන ට්‍රැක්ටර් රථයේ රියැදුරු විය. පොළොව කොටන, පාර තනන තැන ඔහු කම්කරුවන් සමඟ උරෙනුර ගැටී වැඩ කළ කම්කරුවෙක් විය. පාලිත කිසි විට මේවා කළේ කැමරාව ඉදිරියේ රඟපෑමට නොවීය. පාලිතගේ මේ ප්‍රායෝගිකත්වය හැම විටම සඳලුතලයේ සිටින දේශපාලනඥයන්ට අභියෝගයක්ම විය.

ජනතා ප්‍රසාදය හා විශ්වාසය නිතැතින්ම පාලිත පසු පස හඹා එන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස ප්‍රාදේශීය සභාවට සීමා නොකර පාලිත බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ඔසවා තබන්න පෙළගැසුණු ජනතාව අවසානයේ ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජයග්‍රහණය කරවීමටද පසුබට නොවූහ.

2015 යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාලිත දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනාත්මක පුවත් මවන්නෙක් විය. ඒ සෑම සිද්ධියකම පිටුපස තිබුණේ ජනතාවට සිදු වන අසාධාරණය වෙනුවෙන් නොබියව පෙනී සිටීමේ පාලිතටම ආවේණික ලක්ෂණයයි. බදුරලියේ රෝහල විවෘත කිරීම වෙනුවෙන් ඔහු කළ මාරාන්තික උපවාසය මෙන්ම සුප්‍රකට මීගහතැන්නේ පාසල් අහිමි වූ දරුවන්ට පාසල් හිමි කර දීම වෙනුවෙන් කළ මැදිහත් වීම කිසි දිනක අමතක කළ නොහැකිය. කිහිප විටක් පාලිතට තම දෑතට විලංගු ලාගැනීමටද සිදු විය. ඒ තම ඡන්දදායකයන් තමන්ට පැවරූ වගකීම නිවැරැදිව ඉටු කිරීම වෙනුවෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ දේශපාලනඥයන්ට සාපේක්ෂව පාලිත අවංක චරිතයක් බව පොදු පිළිගැනීමයි. අතරමැදියන්ගෙන් තොරව දවසේ ඕනෑම මොහොතක දුරකතනයෙන් හෝ ඔහු පහසුවෙන් සම්බන්ධ කරගත හැකි විය. ඔහු ප්‍රායෝගික ජීවිතය තුළද එතරම්ම සරල විය. පාලිත කිසිවිටෙක ජාතිවාදියෙක් නොවීය. සිංහල දෙමළ මුස්ලිම් සියලු ඡන්දදායකයන් අතර ඔහු අතිශයින් ජනප්‍රිය විය. අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ සිදු වූ ජාතිවාදී ගින්නට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් ධෛර්ය සම්පන්න සීමිත වූ සිංහල නායකයන් අතර පාලිත ඉදිරියෙන්ම විය. පාලිත තම දේශපාලන අනාගතය ගැන නොසිතා හැම විටම පක්ෂය හා තම ප්‍රතිපත්ති වෙනුවෙන්ම කැප විය. ධන බලය, පවුල් බලය, නායකත්වය සමඟ ඇති ඥාති සම්බන්ධකම් ආදි කිසිදු සාධකයක් නැතිව තම ශක්තිය මතින් දේශපාලන නායකයකු ලෙස නැඟී සිටි පාලිත තෙවරප්පෙරුමගේ දේශපාලන භාවිතාවෙන් නවක දේශපාලනඥයකුට උගත හැකි පාඩම් බොහෝය.

පස්දුන් රට දේශපාලන ඉතිහාසය තුළ පාලිත තෙවරප්පෙරුම නාමය සදා නොමැකෙනු ඇත. සැබෑ ජනතාවාදී නායකයාණනි, ඔබට නිවන් සුව අත් වේවා!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT