Home » රාජකාරියට ගිය දුම්රිය සාමාන්‍යාධිකාරි අභාවප්‍රාප්ත වෙයි

රාජකාරියට ගිය දුම්රිය සාමාන්‍යාධිකාරි අභාවප්‍රාප්ත වෙයි

by sachintha
April 24, 2024 2:05 am 0 comment

රාජකාරී කටයුත්තක් අතරතුර ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වැනි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙලෙස අභාවයට පත්වී ඇත. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව, තලාව, අනුරාධපුර, මිහින්තලාව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිදු කරන දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩසටහන් මාලාවක් සඳහා සහභාගි වීමට ඉංජිනේරුවරුන් පිරිසක් සමඟ පෙරේදා (22) අනුරාධපුරයට පැමිණ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ ඔහු නවාතැන්ගෙන සිටි බංගලාව තුළදීය.

දුම්රිය සේවකයන්ට සහ මහජනතාවට ගෞරවය දැක්වීම සඳහා දේහය අද (24) පෙරවරු 9.00 සිට 12.00 දක්වා දුම්රිය මූලස්ථානයේ ද 12.00න් පසුව බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල්ශාලාවේ ද තැන්පත් කිරීමට නියමිතය. හෙට (25) පස්වරු 4.00 අවසන් බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

මියයන විට 58 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 04 වැනිදා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාරගෙන කටයුතු කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොයි කාගේත් ආදරයට මෙන්ම ගෞරවයට ලක්වූවෙකි.

මාතලේ විද්‍යා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඔහු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් පශ්චාත් උපාධිය ලබා ඇති අතර, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.

1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වූ එතුමා අනතුරුව වසර 27ක කාලයක් පුරා දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයකු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයකු, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ලෙස මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) ලෙසින් ද කටයුතු කර ඇත.

අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන්ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව සිටි ඒ මහතාගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ (23) උදෑසනය. ඒ පෙරදින නින්දට ගිය ඒ මහතා උදෑසන අවධිව නොතිබීමත් දොරට තට්ටු කර කොතරම් කථා කළත් ඔහු රැඳී සිටි කාමරයේ දොර විවෘත නොවීමත් හේතුවෙන් දොර කඩා බැලීමේදී සිරුර හමුවී ඇත.

නිදන ඇඳ අසල වැටී සිටි ඔහුව වහාම අනුරාධපුර රෝහලට රැගෙන ගියත් ඒ වන විට සිට ඇත්තේ මියගොසිනි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මිය යෑමට පෙර සිදු කළ අවසාන රාජකාරිය සහ ඊට අදාළ තොරතුරු 3 වැනි පිටුවේ ද මරණ පරීක්ෂණයට අදාළ තොරතුරු 7 වැනි පිටුවේ ද පළ වේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT