Home » ජන ජීවිත සක්‍රිය කරන්නට මුල පුරමින් අද දැයට තිළිණ වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය

ජන ජීවිත සක්‍රිය කරන්නට මුල පුරමින් අද දැයට තිළිණ වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය

-අඳුර නසා සා පිපාසා නිවන නූතනයේ ඉංජිනේරුමය මහා හාස්කම

by sachintha
April 24, 2024 2:02 am 0 comment

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමට මඟ පෑදුණේ අහම්බෙනි. එහි මූලාරම්භය සිදු වූ 2006 වර්ෂයේදී අප ඉරානයේ සහාය පැතුවේ අපේ විදුලි පද්ධතිය වෙනුවෙන් ස්වාභාවික වායුව ද්‍රවීකෘත ස්වභාවික වායුව සාධාරණ මිලක් යටතේ ලබා ගැනීම සඳහාය. එහෙත් පියවරෙන් පියවර කටයුතු සිදු වූයේ නොසිතූ විරූ අයුරිනි. එසේ සිදුවීමේදී ඉරාන ජනතාව තුළ අල්ලාහ් දෙවියන් කෙරෙහි ඇති පරම භක්තිය ක්‍රියාවට නැගුණ ආකාරය එම සිදුවීම් මාලාව තුළදීම මම දුටුවෙමි.

මෙම ලිපිය ලියන මම ඉස්ලාම් භක්තිකයෙක් නොවෙමි. එහෙත් කෝටි සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන්ගේ හදවත් තුළ ජීවත්වන අල්ලාහ් දෙවියනුත් උන්වහන්සේගේ නාමයෙන් කෙරෙන යහපත් ක්‍රියාවන් පිළිබඳවත් අත්දැකීම් ලබා ඇත්තෙක්මි. අල්ලාහ් භක්තිකයෝ උන්වහන්සේගේ නාමයෙන් කටයුතු කිරීමේදී පොදු දේපළ යනු අල්ලාහ් දෙවියන් විසින් ලොවට දෙන ලද දායාදයන් බවත් ඒ නිසා ඒවා අයථා ලෙස පරිහරණය අල්ලාහ් දෙවියන්ගේ සාපයට හේතුවන්නක් බව තදින්ම විශ්වාස කරති. මෙම ලිපිය ලියන මා එදා ඉරාන බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සංවාදයේදී එතුමා විසින් ඒ බව තහවුරු කරන ලද ආකාරය මම ඔබට පවසමි. අපේ රටේ තත්ත්වය එයට වෙනස්ය. බොහෝ දේශපාලන බලය ඇත්තෝ: සියල්ලෝම නොව වැඩි දෙනෙක් සිතන්නේ තමනට ජනතා වරම ලැබී ඇත්තේ පොදු දේපළ සූරාකෑමටත් සමඟය කියාය. අප ලෝකයට ණය ගැතියන් බවට පත්වීමේ ශාපයට උරුමකම් කියන්නේ ඒ නිසාය.

ඇරඹුම

එවකට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය දැරූ මා 2007 වර්ෂයේ අප්‍රේල් 29 වැනිදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ගියේ අපේ විදුලි පද්ධතිය වෙනුවෙන් ද්‍රවීකෘත ස්වාභාවික වායුව‘LiQuidized Natural Gas’ ( LNG) සාධාරණ මිලක් යටතේ ලබා ගැනීම සඳහා ඉරාන බලධාරින් සමඟ සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ඉරානයේ බලශක්ති අමාත්‍යවරයා මුණ ගැසිමට සිදු වූ ආකාරයත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ පාරාබ් ආයතනයේ ප්‍රධානීන් මුණ ගැසුන ආකාරයත් එම ආයතනයට අයත් ටර්බයිනයේ සිට ඇණ මුරිච්චිය දක්වා වූ නිෂ්පාදනයන් සිදු කෙරෙන කර්මාන්ත ශාලාවලටත් මෙගා වෝට් 2000ක විදුලිය නිපදෙවෙන මස්ජිඩ් සුලෙයිමාන් බලාගාරයටත් යාමට සිදු වූ ආකාරයත් අන්තිමේදී මා ගිය ගමන ශ්‍රී ලංකාවාසීන්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයක් වන ආකාරයේ ප්‍රතිලාභ ජනිත කරවන කටයුත්තක් බවට පත් කෙරෙනු ලබන බවට ඔවුන් සිදු කළ ප්‍රකාශයත් පිළිබඳ තොරතුරු අදත් ජීවමානාකාරයෙන් මසිත මැවී පෙනේ. එම තොරතුරු 2015 වර්ෂයේදි මවිසින් එළිදක්වන ලද අභියෝගාත්මක රාජ්‍ය සේවය නමැති පොතේ 435 සිට 443 දක්වා වූ පිටුවල පළ කරනු ලැබ ඇති අතර එම පොතේ එම කොටස මෙහි නැවත පළ කරන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරාන ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යෙදෙන මෙම අවස්ථාවේදී එම පසුබිම් තොරතුරු ඔබට දැනගැනීමට සැලසීම මගේ වගකීමක් ලෙස මා සලකන නිසාය.

සැබවින්ම අමෙරිකානු ඩොලර් මිලියන 529ක වියදමකින් ඉදිකෙරුණ උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රියාවලිය ඇරඹුණේ 2010 වර්ෂයේදී වුවද එම භාරදූර කාර්යයට මුල්ගල් තැබුණේ 2008 අප්‍රේල් 29 වැනි දින බව මට මතකය. ඒ ඉරාන ජනාධිපති අහමඩ්ජානි මැතිතුමන් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒකාබද්ධව සිදුකරන ලද නිල උත්සවයකදීය. ඒ මා ඉරානයට ගොස් හරියටම වසරක් සපිරුණ දිනයේදීය. එදා පටන් එම කටයුතු භාරව කටයුතු කළේ වාරිමාර්ග කටයුතු අමාත්‍යාංශය භාරව කටයුතු කළ චමල් රාජපක්ෂ ඇමැතිතුමන්ගේ නායකත්වය යටතේය. ඉදිකිරීම් කටයුතු අපේක්ෂිත කාලයේදී කළ නොහැකි වුවත් ප්‍රමාද වී හෝ 2024 අප්‍රේල් වනවිට එම කාර්යය නිමාවකට පත්කර ගත හැකි වීම ජාතියේ වාසනාවකි.

උමා ඔය ව්‍යාපෘතියට අදාළ පසුබිම් කතාව ඇරඹෙන්නේ 2006 වසරෙනි. 2006 වසරේ නොවැම්බර් මස 4 වැනිදා ඉරානයේත් ශ්‍රී ලංකාවේත් බලශක්ති අමාත්‍යවරු ඉරානයේ ටෙහෙරාන් නගරයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබිණි. ඒ මා සභාපති තනතුරට පත්වීමට පෙරය. ඉරානය ශ්‍රී ලංකාවට බලශක්ති සංවර්ධනය සඳහා සහායත් ශ්‍රී ලංකාව ඉරානයට ඉදිකිරීම් කාර්යයන් සඳහා ආරාධනය කිරීමත් අවබෝධතාවයේ අන්‍යෝන්‍ය අරමුණු විය- ඒ යටතේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ එක් බලාපොරොත්තුවක් වූයේ ද්‍රව බවට පත්කරන ලද ස්වාභාවික වායුව ඉරානයෙන් ඉතා අඩු මිලකට ලබා ගැනීමය.

තෙල් ළිං කැණිමේදී මුලින්ම නිකුත්වන්නේ ස්වාභාවික වායුවය. එම වායුව ද්‍රව බවටත් ඝනීකරණයටත් පත් කොට අධිශීත තත්ත්වයක් යටතේ ගබඩාකොට ආරක්ෂා කළ යුතුය. එසේ සුරක්ෂිත කළ වායුව ඩීසල් හෝ ගල් අඟුරු මෙන්ම ප්‍රබල වූ විදුලි ජනක මාධ්‍යයකි.

ඉදිකිරීම් වෙනුවෙන් වූ ගිවිසුම

උමා ඔය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් වෙනුවෙන් වූ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ අතර ඉරානය වෙනුවෙන් අත්සන් තැබුවේ බේසාඩ් එස්ලාචි මහතාය. 2007 මැයි 13 වැනිදා උමා ඔය ශක්‍යතා අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ නායකත්වය දැරුවේ මෙහි සිටින ප්‍රධාන ඉංජිනේරු මහතාය. 2007 මැයි මස දෙවැනිදා මම ඉරානයේ බලශක්ති ඇමැතිතුමා හමු වූයෙමි. ඒ මගේ ඉල්ලීමක් පිට සිදුකරන ලද්දක් නොවීය. එය ඇමැතිතුමා විසින්ම ගන්නා ලද තීරණයක් අනුව යොදන ලද හමුවකි.

ඉරාන බලශක්ති ඇමැතිතුමා අපේ රට ගැන බොහෝ දේ විමසුවේය- බලශක්ති වැඩපිළිවෙළ පිළිබඳව තොරතුරු විමසීමෙන් අනතුරුව ෆාරාබ් නිෂ්පාදන කර්මාන්ත ශාලාව හා මස්ජීඩ් සුලෙයිමාන් ජල විදුලි බලාගාරය පිළිබඳව මගේ අදහස් විමසුවේය. එතුමා ඊළඟට ඇසූ ප්‍රශ්නය තවත් සාකච්ඡා වාරයකට මුල පිරීමක් විය. ‘ඔබ දැන් දින කිහිපයක් තිස්සේම ඉරානය තුළ සංචාරය කළා. බොහෝ දෙනා මුණ ගැසුණා. මහ මඟදීත් ජනතාව කටයුතු කරන සැටි දුටුවා. ඔබ මේ රටට එන්නට පෙර ඉරානය ගැන සිතා සිටියේ කොහොමද? දැන් හිතන්නේ කොහොමද කියල මං දැනගන්ට කැමතියි’ ඇමැතිතුමා මගෙන් විමසුවේය. බටහිර ජනමාධ්‍ය තුළින් මා දැන සිටි ඉරානයත් මවිසින් පෞද්ගලිකවම දුටු ඉරානයත් අතර වෙනස මම ඇමැතිතුමාට විස්තර කෙළෙමි. අමෙරිකානු හා බටහිර ජනමාධ්‍ය ස්වකීය න්‍යායපත්‍ර අනුව කටයුතු කරමින් ප්‍රචාරය කරන ලද වැරදි පුවත් නිසා ඉරානය පිළිබඳව කලින් ගොඩනැඟී තිබුණ ආකල්පයත් පසුව එය වෙනස් වූ ආකාරයත් මම පැහැදිලි කළෙමි.

‘ඉරානය ගොඩනගාගෙන ඇති ශක්තියේ පසුබිම කුමක්දැයි ඔබ දන්නවාද’? ඒ ඇමැතිතුමාගේ ඊළඟ ප්‍රශ්නයයි. ඒ පිළිබඳ තොරතුරු එතුමාගෙන්ම දැන ගැනීමට කැමති බව මම පැවසුවෙමි.

‘ඉස්සර මේ රටේත් අල්ලස දූෂණය රජ කෙරුවා. දැන් ඒ තත්ත්වය ඇත්තේම නැහැයි කියන්නට පුළුවන්. එහෙම වුණේ හේතු දෙකක් නිසයි. පළමුවැන්න තමා ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය. ජනාධිපතිතුමා ඉංජිනේරුවරයෙකි. එතුමා ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය තුළම ආචාර්ය උපාධි දෙකක් ලබාගෙන තිබෙනවා. ඒවා කැපවෙලා වැඩකරල පර්යේෂණ කරල ලබාගත්ත උපාධි. අමාත්‍ය මණ්ඩලයේත් සිටින ඇමැතිවරු විසිහතර දෙනාගෙනුත් වැඩි පිරිසක් ආචාර්ය උපාධිධාරීන්. ඉහළ අධ්‍යාපනයක් නොලැබූ කිසිවෙකුටත් ඇමැති පදවි ලැබෙන්නේ නැහැ. මේ කතා කරන මාත් ආචාර්ය උපාධිධරයෙක්. අපේ උත්සාහය රටේ සංවර්ධනය මිස අපේ සංවර්ධනය නොවේ.

‘ඊළඟට මේ රටේ රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයේ නිරතව සිටින්නේ උගත් පිරිස්. අපේ රටේ ආචාර්ය උපාධිධාරීන් පනස් දාහක් සිටින බව ඔබ දන්නවාද? ඒ අය තමයි රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශවලත් කටයුතුවලට නායකත්වය දෙන්නේ. ඒ අය ලබාගෙන ඇත්තේ ශුද්ධ වු කුරානයේ ඉගැන්වීම්වල සිට පරමාණුක බලශක්තිය දක්වා වූ විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ වූ ආචාර්ය උපාධි. මේ තමයි අපගේ ශක්තිය’.

ශක්‍යතා අධ්‍යයන කණ්ඩායම

‘ඇමැතිතුමනි, ඉරානය ස්වභාවික සම්පත් අතිනුත් වෙනත් බොහෝ රටවලට වඩා පොහොසත් රටක් නේද’? මම විමසුවෙමි.

‘ඔව් ඒක ඇත්ත. ඒත් ඒ ස්වාභාවික සම්පත් ජනතාවගේ යහපත සඳහා යොදා ගන්නවාද නැත්නම් තමන්ගේ වාසිය සඳහා යොදා ගන්නවාද කියන එක තීරණය කරන්නෙත් ඔය දෙගොල්ලයි. රටේ සම්පත් රටේ යහපත පිණිස නොයොදා තම තමාගේ යහපත පිණිස යොදා ගැනීම නේද බොහෝවිට සිදුවන්නේ’.

ඇමැතිතුමා කතා කරන්නේ අපේ රට ගැනවත්ද? මා තුළ පහළ වූයේ සාධාරණ සැකයකි.

‘ඉස්සර මේ රටේත් සිදුවුණේ ඒ ටිකමයි. එ්ත් දැන් එහෙම නැහැ. ඒ නිසයි මා අපේ රටේ ජනාධිපති ගැනයි ඇමැතිවරු ගැනයි නිලධාරි පැලැන්තිය ගැනයි කතා කළේ. ඇමැතිතුමා කතා කළේ ආඩම්බරයෙනි.

‘ඊළඟ හේතුව කුරානයේ ඉගැන්වීම්. ඉරානය තුළ මත්කුඩු, මත්පැන්, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම්. ඒ හින්දා මේ රටේ කිසිකෙනෙක් විකෘති මානසික තත්ත්වයෙන් වැඩ කරන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. එච්චර විතරක් නොවෙයි අපේ මිනිස්සුන්ට ලෙඩ රෝගත් අඩුයි.

අප සෑම දෙයක්ම කරන්නේ සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්. දෙවියන් මැවූ සම්පත් මනුෂ්‍යයාගේ පොදු යහපතට යෙදිය යුතුයි. ඒවා සූරා කෑවොත් අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඔහුට ලැබෙනවා.

ඔබ දන්නවාද අපේ ජනාධිපතිතුමා කන්තෝරුවට එන්නේත් එතුමාගේම පෞද්ගලික වාහනයෙන්. රටේ පොදු සම්පත් සූරාකෑම එතුමා අනුමත කරන්නේ නැහැ. අපේ රට ඉස්ලාමීය ජනරජයක්. අපේ ශක්තිය අල්ලාහ් දෙවියන් කෙරෙහි ඇති භක්තියයි. ශුද්ධ කුරානයේ ඉගැන්වීම් අප අනුගමනය කරනවා’. ඇමැතිතුමා මට සමුදුන්නේ ඉතා සුහද ආකාරයෙනි.

ඒ අනුව කැලණි ගඟ ආශ්‍රිත බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයත් උමා ඔය ආශ්‍රිත උමා ඔය විදුලි බලාගාරයත් සම්බන්ධ ඉදිකිරීම් සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට දින දහයක් තුළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ඔවුහු පොරොන්දු වූහ.

උමා ඔය විදුලි යෝජනාවේ මූලබීජය

උමා ඔය යෝජනා ක්‍රමය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදු වූයේ දෙරටේ ජනාධිපතිවරුන් දෙදෙනාගේ මූලිකත්වයෙනි. එදා මා ඉරානයට නොගියා නම් ඒ සියල්ල එසේ සිදු නොවන්නට ඉඩ තිබිණි. උමා ඔය විදුලි යෝජනා ක්‍රමයට අදාළ මූලබීජය රෝපණය මඟින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට ජීවය ලබා දීම සඳහා මූලිකත්වය ගැනීමට මට හැකිවීම මා ජීවිතයේ ලත් උසස්ම ජගග්‍රහණයක් ලෙස මම සලකමි. ඒත් එහි ගෞරවය හිමිවිය යුත්තේ මට නොවේ. වගකීමක් පවරා මා ඉරානයට යැවීමට තරම් මා කෙරෙහි විශ්වාසය තැබූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය දැරූ ජෝන් සෙනෙවිරත්න මහතාටය.

ශ්‍රී ලංකාවේ ලොකුම උමඟ ඉදිවන්නේ උමා ඔය ව්‍යාපෘතිය යටතේය. ඒ ඩයරබා ප්‍රදේශයේ සිට වැල්ලවාය කරඳගොල්ල දක්වා ඉදිකරන කි.මී. 15.5 දිග පීඩන උමඟයි. උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිවන මුළු උමං පද්ධතියේ දිග කි.මී. 25.5කි.

ජල විදුලි බලාගාරය ඉදිවන්නේ මහ කළු ගලක් යටය. එය දිගින් මීටර් 70ක් පළලින් මීටර් 18ක් හා උසින් මීටර් 35ක කුටීරයක් තුළ ඉදිවෙයි. මා විසින් මීට කලින් විස්තර කළ ඉරානයේ කරුන් ගඟේ මෙගාවෝට් 2000 වූ ජල විදුලි බලාගාරය ඉදිකර තිබුණේ ද මහා ගල් පර්වතයක් යටය. එය මහල් හතරකින් යුතු විය.

උමා ඔය මෙගාවෝට් 60 බැගින් වූ ජනක යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමගින් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. ඒ අනුව ජනතාව වසරකට ලබන ප්‍රතිලාභය රුපියල් කෝටි 800කි. ඊට අමතර ප්‍රධානම ප්‍රතිලාභය වන්නේ විදුලි බලාගාරයේ එන ජලය වැල්ලවායේ අලිකොටආරට කිලෝමීටර් 3ක් දිග උමගකින් මුදා හරිනු ලැබීමයි. මේ ජලය පසුව තවත් අලුත් ජලාශ දෙකක් හා වැව් 25ක් පෝෂණය කරමින් පහළ ඌවට පැමිණෙයි. එමගින් පහළ ඌවේ තණමල්විල, වැල්ලවාය, ලුණුගම්වෙහෙර හා හම්බන්තොට ප්‍රදේශවල අලුත් කුඹුරු අක්කර 50000 ක් පමණ අස්වද්දනු ලැබේ.

මේ ලස්සන රට, අපගේ ආදරණීය මාතෘ භූමිය, ශ්‍රී ලංකාව, ස්වාභාවික සම්පතින් අනූනය. ඒත් අපේ මානව සම්පත සිය කාර්ය භාරය හරියාකාරව ඉටු නොකළොත් විපතට පත්වන්නේ අපේ ආදරණීය මාතෘ භූමිය නොවේද?

ඩබ්ලිව්.ඒ.එස්. පෙරේරා (ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති)

ඡායාරූප – බදුල්ල, නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT