Home » විජයදාසටත්-දුෂ්මන්තටත් අතුරු තහනම් නියෝගයක්
වැඩබලන සභාපති-ලේකම් කටයුතු වළකමින්

විජයදාසටත්-දුෂ්මන්තටත් අතුරු තහනම් නියෝගයක්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස නම් කළ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහලේකම් ලෙස කටයුතු කරන සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24) නිකුත් කළේය.

මෙයට අමතරව විජයදාස රාජපක්ෂ මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස නම් කිරීම කළ පසුගියදා අප්‍රේල් 21 වැනිදා පිටකෝට්ටේ උත්සව ශාලාවකදී පැවැති විධායක සභා රැස්වීමේ ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ද දුන්නේය.

ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, වැඩ බලන සභාපති ලෙස නම් කළ ඇමැති විජයදාස රාජපක්ෂ, උප සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු නම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හා විධායක සභාවේ ‍සාමාජිකයන් වන පැමිණිලිකරුවන් සිය ලේඛනගත නීතිඥ සවනා පෙරේරා මහත්මිය මඟින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කරන ලදි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දික ජයසුන්දර මහතා ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ අපේක්ෂක සාමාජිකත්වය ගෙන මාස 6කට පසු එම තැනැත්තාට ස්ථිර සාමාජිකත්වය ලැබිය හැකි බව දන්වා සිටියේය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නිකුත් කළ ලේඛනය අනුව 3 වැනි විත්තිකරු සිය අප්‍රේල් මස මන්ත්‍රී දීමනාවෙන් වෙනත් පක්ෂයක සාමාජික ගාස්තු ගෙවා ඇති බවට පෙන්වා දීම කළ නීතිඥවරයා එබැවින් ඔහු පක්ෂයේ ස්ථිර සාමාජිකයකු නොවන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම පක්ෂ ව්‍යවස්ථාව අනුව විධායක සභාව කැඳවීමේදී හේතු දැක්වීමක් කළ යුතු අතර අදාළ කැඳවීම විධිමත් ලෙස සිදුව නැති බවට කරුණු දක්වන ලදි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය නිකුත් කිරීමෙන් පසු පක්ෂයේ උපරිම යහපත උදෙසා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂය ආරක්ෂා කිරීමේ අරමුණින් දේශපාලන මණ්ඩලය රැස් කරන ලෙස වැඩ බලන මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීම ඔහු ක්‍රියාත්මක නොකළ බවට අධිකරණයට දන්වා සිටියේය. ඉන්පසු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා පසුගිය අප්‍රේල් 8 වැනිදා පදනම් ආයතනයේදී දේශපාලන මණ්ඩලය කැඳවීම කළ බවත් එයට සාමාජිකයන් 11 දෙනකු අතරින් 6 දෙනකු සහභාගි වූ බවත් දන්වා සිටියේය. එහිදී යෝජනා ස්ථිරත්වයෙන් වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් වූ බව පැමිණිලිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව පක්ෂයේ දේශපාලන මණ්ඩලය යයි හුවා දක්වන රැස්වීමක් 2024 වසරේ අප්‍රේල් 21 වැනිදා මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේ පවත්වා ඇත. ඒ සඳහා කැඳවීම් ලිපිය වැඩ බලන මහලේකම්වරයා තෝරාගත් පිරිසකට පමණක් යවා ඇති බව දැන ගැනීමෙන් පසු පැමිණිලිකරුවන් එයට විරෝධය දැක්වුවද එයට සහභාගි නොවූ බව කියා සිටින ලදි.

නීති විරෝධී රැස්වීමක් වන එම රැස්වීමේදී 3 වැනි විත්තිකරු වන විජයදාස රාජපක්ෂ මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීම ඇතුළු ගන්නා ලද තීරණ බල රහිත කරන තීරණයක් නිකුත් කරන ලෙසත් වැඩ බලන මහලේකම්වරයා එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සවනා පෙරේරා මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දික ජයසුන්දර මහතා සහ නීතිඥ අමිල දිසානායක මහතා පෙනී සිටියේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT