Home » සුභසාධනයට වැයවන්නේ ජනතා බදු මුදල් මිස දේශපාලනඥයන්ගේ පෞද්ගලික මුදල් නෙමෙයි

සුභසාධනයට වැයවන්නේ ජනතා බදු මුදල් මිස දේශපාලනඥයන්ගේ පෞද්ගලික මුදල් නෙමෙයි

හෝමාගම අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදා දෙමින් ඇමැති බන්දුල ගුණවර්ධන කියයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සහල් බෙදාදීමේ රජයේ වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභීන් පිරිසක් වෙත සහල් බෙදාදීම ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මේ සඳහා සුදුසුකම් ලාභී ප්‍රතිලාභී පවුල් 15,640ක්‌ හඳුනාගෙන ඇති අතර ඒ අතරින් කටුවාන සහ හෝමාගම නාගරික ප්‍රදේශයේ තෝරාගත් ප්‍රතිලාභීන් 100ක්‌ වෙනුවෙන් කිලෝ ග්‍රෑම් 10 බැගින් වූ සහල් පාර්සල් පිරිනැමීම මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලබාගත් ණය නොගෙවීම මත නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි කඩාවැටීමකට ලක්වී තිබෙනවා. සුබසාධන වාදී ආර්ථිකයක් පවත්වාගෙන ගියත් එම ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි මට්ටමට පැමිණ පුපුරා යෑමක් සිදුව තිබෙනවා. ඉතිහාසය පුරාම රජයන් විසින් පාසල් දරුවන්ට උපාධිය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලබා දී තිබෙනවා. ඖෂධ, සැත්කම් ඇතුළු සෞඛ්‍ය සේවාවන් නොමිලේ ලබා දී තිබෙනවා. පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ලබාදීම සඳහා පමණක් වසරකට අති විශාල මුදලක් වැය කරනවා. මේ කිසිදු කටයුත්තකට වැය කරන්නේ දේශපාලනඥයෙකුගේ පෞද්ගලික මුදල් නොව ජනතාව මත බදු පනවා අය කරගන්නා මුදලින්.

ව්‍යවහාරයේදී බතුත් එළවළුත් පමණක් ආහාරයට ගන්නා බව ප්‍රකාශ කළත් සත්‍ය වශයෙන්ම බතුත් එළවළුත් සමග බදු ද ආහාරයට ගැනීමට ජනතාවට සිදුවනවා. ඒ අප එදිනෙදා පාරිභෝජනය කරන සෑම ද්‍රව්‍යයකටම බදු ඇතුළත්ව තිබීම හේතුවෙන්. එලෙස රැස් කරගන්නා බදු ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට අති විශාල මුදලක් වැය වනවා. සමෘද්ධි සහනාධාර ප්‍රමාණවත් නොවූ නිසා ඊටත් වඩා කිහිප ගුණයකින් වැඩිකර අස්වැසුම සහනාධාර ලබා දී තිබෙනවා. ඒ සඳහා ද විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ යුතුව පවතිනවා. මේ සියල්ලට ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම හේතුවෙන් රජයට ණය ගැනීමට සිදුවනවා. එම ණය සඳහා පොලී ගෙවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ආදායමක් කවර රජයකට හෝ ලැබෙන්නේ නැහැ. එලෙස දිගින් දිගටම ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට තවදුරටත් ශ්‍රී ලංකාවට විදේශ ණය ලැබෙන්නේ නැහැ. මේ දක්වා සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු සිදුකර තිබෙන්නේ ණය මඟින්. අප රටේ දරුවන්ටත් ඒ පිළිබඳ කියා දිය යුතුයි. ගමන් කරන මංමාවත්, අධිවේගී මාර්ග, බස්රථ ආදි මේ සියල්ලක්ම ණය වශයෙන් ලබා ගත් පහසුකම්.

ආණ්ඩුකරණය ඉතාමත් අපහසු කටයුත්තක්. පාසලකට ගොස් ආධාරයක් සිදු කිරීමෙන් හෝ වෙනත් පරිත්‍යාග කරමින් එය කිරීමේ හැකියාවක් නැහැ. බඩු මිල ඉහළ යාමත් සමඟ ජනතාව මුහුණ දෙන අපහසුතාවන් පිළිබඳව රජයට අවබෝධයක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතරතුර අඩු ආදායම්ලාභීන් රැකබලා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ඒ යටතේ බදු ගෙවන ජනතාවගෙන් ලබාගන්නා මුදලින් ජීවනෝපාය සලසා ගැනීම සඳහා යම්කිසි ආධාර මුදලක් ලබාදීම සිදුවනවා. නොමිලේ පාසල් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වෙනුවෙන් පාසල්වල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දෙමාපියන්ට අහිමි වූ ලෝකය දරුවන්ට ලබා දිය හැක්කේ ඒ තුළින් පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ඇතුළු යටිතල පහසුකම් පිළිබඳ විධිමත් සැලසුමකින් යුතුව වැඩපිළිවෙළක් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අපහසු අවස්ථාවෙන් රට ගොඩගැනීම සඳහා වැඩිපුර වැඩ කරන නිෂ්පාදන ක්‍රියාවලියකට සියලු දෙනා දායක විය යුතුයි. දිළිදුකම පිටුදැකීම සඳහා තමන් ද උත්සාහවන්ත විය යුතුයි.

ඒ වෙනුවෙන් මෙම ප්‍රදේශය තුළද අපනයන නිෂ්පාදන ගම්මාන කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ තුළින් ජාත්‍යන්තරයට අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සිදු කළ යුතුයි. නවීන කෘෂිකර්ම නිෂ්පාදන ඇතුළු කර්මාන්තයන් තුළින් සෑම පවුලකම ආදායම වැඩි කිරීම තුළ දිළිඳුකම පිටුදැකීමේ ගැටලුවට පිළිතුරු පවතිනවා. මේ සියලු තත්ත්වයන් අවබෝධ කරගනිමින් පවතින අපහසුතාවන් ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා, කලාපීය සමෘද්ධි කළමනාකාරතුමිය, ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT