– අලිමංකඩක් අවහිර වී දැඩි පරිසර විනාශයක්
– පරිසරවේදීහු සහ පොලොන්නරුව වනජීවීය පෙන්වා දෙති
පොලොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයට සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ ආසන්නයේ පේරක කලාපයේ ව්‍යාපාරිකයන් සිව්දෙනෙකුට පරිසර අධ්‍යයනයකින් තොරව වනජීවී දෙපාර්තමේන්තුව මගින් වැලි කැණීම් බලපත්‍ර හතරක් ලබාදීමට නිර්දේශ ලබාදීමෙන් අලිමංකඩක් අවහිර වී දැඩි පරිසර විනාශයක් සිදුවන බව පරිසරවේදීන් සහ පොලොන්නරුව වනජීවී නිලධාරීන් පෙන්වා දෙති. අදාළ වැලි කැණීම් බලපත්‍ර දෙන ලෙස නිර්දේශය ඇතුළත් ලිපිය 2024 මාර්තු 14 වැනිදා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට යොමු කර ඇති අතර, වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට නිර්දේශ කර ඇති ස්ථානය, මීට පෙර අවස්ථාවකදී නීති විරෝධී අයුරින් ප්‍රදේශයේ පුද්ගලයන් වැලි කැණීම් කිරීමේදී අත්අඩංගුවට ගත් වැලි ට්‍රැක්ටර් තුනක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම ට්‍රැක්ටර් තුන රාජසන්තක කෙරූ පසුබිමක එම ස්ථානයේම වැලි කැණීම් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ව්‍යාපාරිකයන් සිව් දෙනෙකුට කැණීම් බලපත්‍ර සඳහා නිර්දේශ ලබාදීම පුදුම සහගත බව ද පරිසරවේදීන් සහ පොලොන්නරුව වනජීවී නිලධාරින් කිහිපදෙනෙකු පැවසූහ.
පොලොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ ආසන්නයේ පේරක කලාපයේ ව්‍යාපාරිකයන් සිව්දෙනෙකුට වැලි කැණීම් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලබාදීම, වහාම නතර කරන ලෙසත්, තමා ඇතුළු පරිසර සංවිධාන මෙන්ම ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කරන බවත්, එලෙස අලිමංකඩ අවහිර කරමින් වැලිමංකඩ ලබාදීම හරහා පොලොන්නරුව ඇතුළු අවට ගම්මානවලට වන අලි තර්ජන තවදුරටත් උග්‍ර වන වන බවත්, ප්‍රදේශයේ දැඩි පරිසර හානියක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවත්, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, පරිසරවේදී විජේරත්න පොඩිබණ්ඩාර මහතා සඳහන් කළේය.
වනෝද්‍යාන දෙකක් මායිම් වන අඹන්ගඟ ආසන්නයේ පේරක කලාපයේ මීට පෙර වැලි කැණීම් කරන ලද අසරණ මිනිසුන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර් තුනක් රාජසන්තක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු ඇති වකවානුවක එම ස්ථානයේම ව්‍යාපාරිකයන් සිව් දෙනකුට, අනීතිකව වැලි බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලබාදීම පිළිකුලෙන් හෙළා දකින බව ද විජේරත්න පොඩිබණ්ඩාර මහතා පැවසීය.
පොලොන්නරුවේ වනජීවී නිලධාරීන් වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට විරෝධය පල කරන වකවානුවක වනජීවී දෙපාර්තමේන්තුවේ, රක්ෂිත ප්‍රදේශ භාර කළමනාකරණ අධ්‍යක්ෂ, මංජුල වීරරත්න, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහත්වරුන් විසින්, වැලි කැණීම් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ ලිපිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වෙත ලබා දී ඇති බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේය.
අප මේ තත්ත්වය පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහ මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ඒ සඳහා කොළඹින් අනුමැතිය ලබා දී ඇති බවත් සාමාන්‍ය පරිසර ඇගැයීමක් කර එම වැලි කැණීම් බලපත්‍ර ලබාදී ඇති බවත්ය. අනතුරුව අප මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ භාර කළමනාකාර අධ්‍යක්ෂ මංජුල වීරරත්න මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට කීපවරක් උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය.
අප වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාගෙන් දුරකතනයෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු මෙලෙස කීය. මට ඒ ගැන එකපාරටම කියන්න බැහැ. බලපත්‍ර ගැන තොරතුරු දුන්නොත් මට හොයලා කියන්න පුළුවන්.