Home » ලොකු ලූනු වගාවට මහවැලියෙන් ලොකු හයියක්

ලොකු ලූනු වගාවට මහවැලියෙන් ලොකු හයියක්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 250,000ක් තරම්ය. එහෙත් රට තුළ නිපදවෙන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. ඉකුත් කාලයේදී විවිධ ගැටලු නිසා මෙරට සරුවට ලොකු ලූනු වගා කළ නොහැකි විය. බීජ, අමුද්‍රව්‍ය, යෙදවුම් මිල අතිශයින් ඉහළ යෑම ඒ අතුරෙන් කැපී පෙනිණ. වාර්ෂිකව ඒවා ආනයනයට විශාල විදේශ විනිමයක් වැය වෙයි. එසේම, ආනයනික බීජ ගුණාත්මයෙන් අඩු බවත්, එහි අස්වනු අඩු වීමත් ගොවීන්ගෙන් නැඟුණු මැසිවිලි අතර විය. මේ අනුව රට තුළම ලොකු ලූනු බීජ උපදවා ගැනීමේ අභියෝගය අපට තිබේ. මහවැලි අධිකාරිය යටතේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන කෘෂි නිෂ්පාදන හා ඵලදායීතා ඉහළ නැංවීමේ වැඩසටහන මඟින් ආසියානු සංවර්ධන බැංකුවේ ( ADB) ආධාර යටතේ ක්‍රියාත්මකය. භෝග ගණනාවක් හා අත්හැර දැමූ කුකුළු පාලනය යළි ඉහළ නැංවීමට ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක් වෙන් කර ඇත.

ලොකු ලූනු බීජ හිඟය

එමෙන්ම, ඉකුත් කන්නයේදී ඊට කටයුතු නොකළේ නම්, මේ කන්නයේදී ගොවීන්ට වගා කිරීමටවත් ලොකු ලූනු බීජ හිඟ වනු නොඅනුමානය. එහෙත් මහවැලි අධිකාරිය ඉකුත් කන්නයේ බීජ නිෂ්පාදනයට අවධානය යොමු කිරීමෙන් මෙවර ඒ පාඩුව වළක්වා ගත හැකි විය. ඉදිරියට ඒ අඩුව නොවනු පිණිස විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ලොකු ලූනු ගොවීහු ඉල්ලා සිටිති.

මෙවර යල කන්නයේදී ලොකු ලූනු බීජ 750kgක් ගොවීන් 921ක් අතර නොමිලයේ බෙදා දී ඇත්තේ මේ වැඩපිළිවෙළ අනුවය. එපමණක් නොව, සුහුරු (smart) කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එකක්, රුපියල් 200,000ක් බැඟින් නවීන වැසි ආවරණ කට්ටල 150ක් ද මේ කෘෂි වැඩසටහන යටතේ ගොවීන්ට නොමිලයේ දී ඇත. ඉන් එක් කන්නයකදී එක් ගොවියකුට ලොකු ලූනු සත්‍ය බීජ 8kgක් පමණ ලැබෙනු ඇත. එයින් රුපියල් මිලියන 2.4ත් – 4ත් අතර ආදායමක් ගොවියාට එක් කන්නයකදී ලැබෙතැයි අපේක්ෂා කෙරේ. දේශීය නිෂ්පාදන සුලභ කරන අතරතුරදීම ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමත් මේ වැඩසටහනේ අරමුණු වශයෙන් පෙන්වා දී තිබේ.

ඉඳින්, දැන් අපි දේශීය සත්‍ය බීජ ඇසුරෙන් හුරුළු වැව මහවැලි ගොවි කලාපයේ ලොකු ලූනු වගාවට අලුතෙන් යොමු වී සිටින, ගොවීන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසමු.

මුලින්ම අපි මහවැලි H කලාපයට හැරෙමු. එහි හුරුළු වැව ගොවි කලාපයේ සැරිසරමු.

මහවැලි H කලාපය

එම්. එම් ගාමිණි ෆොන්සේකා කලක් ලොකු ලූනු වගා කළ අයෙකි. එහෙත් ඉකුත් වසර ගණනාවක් තුළදී ඉන් ඈත්ව සිටි ඔහු නැවත එම වගාව අරඹා තිබේ. අපි ඔහුට ඇහුම්කන් දෙමු.

‘ මම අවුරුදු 20ක් ලොකු ලූනු වගාවේ නිරතව හිටියා. ඒත්, අස්වනු අඩුකමත්, වියදම් අධිකකමත් නිසා වගාවෙන් ඈත් වුණා. ඒත්, රජය, ADB එක්ව ගෙන යන අලුත් වැඩපිළිවෙළ නිසා නැවත ලොකු ලූනු සත්‍ය බීජ නිෂ්පාදනයට පෙලඹුණා. දැන් ඒ වගාව සාර්ථකව කෙරීගෙන යනවා. මට වගාවට ඕනෑ කරන යෙදවුම්, වැසි ආවරණ කට්ටලය නොමිලයේ ලැබුණා. බිම් සැකසීම් සඳහා රුපියල් 10,000ක් විතර මට වැය වුණේ. වෙනදා තරම් ශ්‍රමයක් අවශ්‍ය වුණේ නැහැ. සුහුරු වැසි ආවරණ කට්ටලයෙන් පොහොර, ජලය අපතේ නොයා අවශ්‍ය පමණට වගාවට යොමු කළ හැකියි.

ගාමිණි ගොවි මහතා එලෙස අත්දැකීම විස්තර කළ පසුව අපි හුරුළු වැවම පදිංචි ඉඳුනිල් ඉඩම් මුදලිගේ මහතා මුණගැසෙමු. මේ ඔහුගේ අත්දැකීමයි.

‘කලින් හුරුළු වැව කලාපයේ හෙක්ටයාර් 2500 – 3000ක් විතර ලොකු ලූනු වගා කෙරුණා. ගොවීන් 3000ක් විතර ඉන් බඩ වියත රැක ගත්තා. ඒත්, කාබනික ගොවිතැන ඇතුළු බලපෑම් හමුවේ ඒක, හෙක්ටයාර් 200 – 300 මට්ටමට අඩු වුණා. එතැනට වැටී තිබුණු ලොකු ලූනු වගාව තමයි අපි මේ ඔසවා තියන්න උත්සාහ ගන්නේ. එතැනදී ආසියානු සංවර්ධන බැංකුවෙන්, මහවැලි අධිකාරියෙන් ලැබුණු අතහිත වචන වලින් කියා නිම කරන්න බැරි තරම්. බීජ, යෙදවුම් දුන්නා වගේම මහවැලි නිලධාරින් නිතර වගා බිමට ඇවිත් වගාව ගැන සොයා බැලුවා. උපදෙස් දුන්නා, මඟ පෙන්වීම් කළා.

ලොකු ලූනු වගාව රැක ගැනීම

අනෙක, අපිට මේ නිසා අපේ කලාපයේ බීජ අවශ්‍යතාවෙන් 25%ක් පිරි මැසුණා. මේ දින 75-90 දක්වා වන වගාවක්. මාස 3න් 3ට ආදායම් ලැබෙනවා. ඒත්, දැන් අපිට සාර්ථක වගාවක් ගැන හිතන්න පුළුවන්. මේ හුඟක් දුෂ්කරතා මැද කරන වගාවක්. ලොකු ලූනු වගාව රැක ගැනීමත් හරිම වෙහෙසකරයි. ඒකට බොහොම ලෙඩ රෝග වැලඳෙන්න පුළුවන්. ඒක එහෙම තියෙද්දී අලි ප්‍රශ්නත් අපට මදි නොකියන්න තියෙනවා. සුහුරු කෘෂිකර්මය අපිට අලුත් අත්දැකීමක්. ඒ වගේම පහසුයි. ලාභදායකයි. ඉදිරියටත් මේ ක්‍රමයටමයි අපි ගොවිතැන් කරන්නේ. තවත් ගොවීන් මේ නව තාක්ෂණික පහසුකම අපේක්ෂාවෙන් මඟ බලා ඉන්නවා. ඒ අයටත් ඊට ඉඩ සලසා දෙන්න කියලායි අපි ඉල්ලන්නේ.’

මහවැලි අධිකාරියේ හුරුළු වැව කලාපයේ කෘෂිකර්ම නිලධාරි, සුරංග දොළපිහිල්ල, ජ්‍යෙ, සහකාර ඉඳුනිල් ඉඩම්මුදලිගේ මහත්වරුන් වගාව වෙනුවෙන් දක්වන කැපවීමට පිළිබඳත් ඔවුහු ස්තුති කළහ.

ගිරානේගම, ගල්කිරියාගම, හුරුළු වැව කලාපයේම එක් පෙදෙසකි. ඒ ගම වෙසෙන හේරත් බණ්ඩා මහතා දක්වන අදහස් වෙතට අපි දැන් යොමු වෙමු.

‘ ලූනු වගාව නැත්තටම නැති වෙන තැනටයි කරුණු යෙදී තිබුණේ. ඒත්, බීජ නොමිලයේ දෙමින්, දුන් අත හිත නිසා අපි ආයෙත් වගා බිමට ආවා. දේශීය සත්‍ය බීජවලට කවදත් ගොවියා තුළ ලොකු පිළිගැනීමක්, විශ්වාසයක් තියෙනවා. දැනටත් බීජ කිලෝවක් රුපියල් 40,000කට ගම්මු අපෙන් ඉල්ලනවා…’

වීරසූරිය අත්තනායක ගොවි මහතා ද ලූනු වගාව පිළිබඳ දරන්නේ ඉහත අදහස්මය.

එසේම, ගෙවිලියක වශයෙන් දකුණු හල්මිල්ලෑව ගොවි කලාපවාසි ඉනෝකා සඳමාලි මහත්මිය කියන්නේ,

‘ අක්කරයකට ලොකු ලූනු බීජ 2.5kg ප්‍රමාණවත්. එයින් 15,000kg විතර අස්වැන්නක් අපි අවුරුදු ගණනාවකට කලින් ගත්තා. ඒ වගේම, මෙවර යල කන්නයේ බීජ කිලෝ ලක්ෂ 2.5ක් විතර ලැබෙනවා. ඉදිරි කන්නයේදී කලාපයටම ඒ ටික ප්‍රමාණවත්…’ වශයෙනි.

අපි දැන් ආපසු හැරෙමු. ඒත්, මේ ලූනු ගොවීන්ගේ දවස තවම නිමා වී නැත. රෑ පැල් රකිමින් ඔවුහු දේශීය ලොකු ලූනු වගාව ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙති. ඒ බලධාරින් ඊට නිසි වටිනාකමක් දෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT