Sunday, May 19, 2024
Home » අලහේන වැව වසර විස්සකින් පවිත්‍ර කර නෑ – ජලජ ශාඛ වැවම වසාගෙන

අලහේන වැව වසර විස්සකින් පවිත්‍ර කර නෑ – ජලජ ශාඛ වැවම වසාගෙන

by sachintha
April 26, 2024 1:39 am 0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග යටතේ සැලකෙන දමන, දකුණ ඉවුරේ පිහිටි අලහේන වැව වසර විස්සකින් පමණ පිළිසකර නොකිරීමෙන් මේ වන විට එම වැව ජලජ ශාඛවලින් වැසී ගොස් ඇති බව ගල්ඔය දකුණ ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ටී.ජී. අමරපාල මහතා පැවසීය.

2013 /2014 වසරවලදී අම්පාර දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති අංශය මඟින් මෙම වැවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කළත් ජලජ ශාඛ වර්ග ව්‍යාප්ත වීමෙන් එහි පවතින ඉඩකඩ අහිමි වී ගොස් ව්‍යාපෘතිය අතහැර දමා ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතියෙන් ද මෙම වැව සුද්ධ පවිත්‍ර කිරීමට පියවර ගෙන තිබුණත් යන්ත්‍ර සූත්‍ර වෙනත් අවශ්‍යතාවයකට ගෙන යෑම හේතුවෙන් එහි වැඩ අතරමග නතර වූ බව ගොවීහු පවසති.

ඉඟිණියාගල සේනානායක සමුද්‍රය මඟින් දකුණු ඇළ ඔස්සේ එන ජලය අලහේන වැවට පැමිණි පසුව වාරි ජලය බෙදා හැරීමට කටයුතු කරන බැවින් මෙම පෝෂිත වැව කිසිම අවස්ථාවක සිඳී නොයාම විශේෂත්වයකි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් කඩිනමින් වැව පිළිසකර කර දෙන ලෙස තම ගොවි සංවිධානය පසුගිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ද දැනුම්වත් කළත් තවම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දමන සමූහ – කේ.ඒ. මෛත්‍රීපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT