Sunday, May 5, 2024
Home » පාදවල තුවාලවලින් මැරුණු අලියා ආගමික වතාවත් මැද අවසන් ගමනේ

පාදවල තුවාලවලින් මැරුණු අලියා ආගමික වතාවත් මැද අවසන් ගමනේ

by sachintha
April 26, 2024 1:40 am 0 comment

පාද ආශ‍්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව සිට ඉකුත් 23 වැනි දින සවස හසලක අඹගොල්ල ග්‍රාම නිලධාරී වසමේ උල්පත රක්ෂිතය ආසන්නයේදී ඉතා අවාසනාවන්ත අන්දමින් මියගිය වන අලියාගේ අවසන් කටයුතු ඉකුත් 24 වැනි දින දහවල් ආගමානුකූලව සිදු කෙරුණි.

උල්පතගම, 14 ඇළ, ශ‍්‍රී සුදර්ශනාරාම විහාරාධිපති කෙවුල්ගම විමලරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ හසලක වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. මහින්ද විජයසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආගමික කටයුතු සිදු කර තිබේ. වයස අවුරුදු 40ක් පමණ වන මෙම මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරයා විසින් සිදු කරන ලද අතර, මෙම මරණයට හේතුව ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදු වූ තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළ බව හසලක වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. මහින්ද විජයසිංහ මහතා පැවසීය.

මෙහිදී භික්ෂූන්වහන්සේ ඉදිරියේ මතක වස්ත්‍ර පූජා කර පැන් වඩා මියගිය අලියාට පින් අනුමෝදන් කර අලියා මිහිදන් කිරීමට ද ගම්වාසීන්ගේ සහයෝගයෙන් වනජීවී නිලධාරීන් විසින් කටයුතු සංවිධානය කර තිබිණි. මෙම ආගමික කටයුතු කරන අවස්ථාවේදී ගැමි මාතාවන් කිහිප දෙනකුම දැඩි සංවේගයෙන් කඳුළු සලනු දැකගත හැකි විය. මෙම වන අලියා කලක සිටම ගම්මානයට පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණත් එම සතාගෙන් කිසිවකුට කරදරයක් හිරිහැරයක් නොවූ බවද මෙහිදී ගම්වාසීහු පැවසූහ.

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT