Home » නාවික හමුදාවේ සහායෙන් මුහුද මැද රෝගී වූ ධීවරයෙක් බේරා ගැනේ

නාවික හමුදාවේ සහායෙන් මුහුද මැද රෝගී වූ ධීවරයෙක් බේරා ගැනේ

by sachintha
April 29, 2024 1:59 am 0 comment

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවකින් බේරා ගැනීමෙන් පසුව, පෙරේදා (27) ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

වෙන්නප්පුව ධීවර වරායෙන් මාර්තු මස 11 වැනි දින ධීවරයන් 07 දෙනකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මේ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, ඔහු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම් දීමක් සිදු කර ඇත.

ඒ අනුව එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දක්වා ඇති නාවික හමුදාව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, රෝගාතුර වූ ධීවරයා මුදාගැනීමට සහාය වන ලෙස එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් MV KMARIN AZUR නමැති වෙළෙඳ නෞකාව‍‍ දැනුවත් කර තිබේ.

පසුව එම වෙළෙඳ නෞකාවෙන් රෝගාතුර වූ ධීවරයා වෙළෙඳ නෞකාවට ගැනීමෙන් අනතුරුව මූලික ප්‍රථමාධාර දෙමින් පෙරේදා (27) කොළඹ වරාය ආසන්නයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

නාවික හමුදාව විසින් බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා වෙළෙඳ නෞකාව වෙතින් ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් මෙලෙස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT