Wednesday, May 15, 2024
Home » තෙල්බැද්දවත්ත ඉස්කෝලේ අඩු පාඩු ගොඩයි

තෙල්බැද්දවත්ත ඉස්කෝලේ අඩු පාඩු ගොඩයි

-දරුවන් ඉගෙනගන්නේ ටකරං මඩුවල

by sachintha
April 29, 2024 2:10 am 0 comment

පාසලටම ඇත්තේ ගොඩනැඟිලි දෙකයි / පාසල් දරුවන්ගේ මවුපියෝ මැසිවිලි නඟති

තම දූ දරුවන් ඉගෙනුම ලබන බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් බ/ තෙල්බැද්දවත්ත අංක 01 දෙමළ විද්‍යාලය සඳහා ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම්, පරිගණක විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩා භාණ්ඩ තියා ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්වත් ලැබී නැතැයි එම පාසලේ දරුවන්ගේ මවුපියෝ මැසිවිලි නඟති.

තෙල්බැද්දවත්ත අංක 01 දෙමළ විද්‍යාලය පළමු වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන පාසලකි. එහි දරු දැරියන් 250ක් පමණ ඉගෙනුම ලබන නමුත් පාසලට ඇත්තේ ගොඩනැඟිලි දෙකක් පමණි. ඉන් ප්‍රධාන ශාලාවේ කොටසක් විදුහල්පති කාර්යාලය සඳහාත් තව කොටසක් වේදිකාව සඳහාත් වෙන්ව ඇති අතර මේ හේතුවෙන් විදුහලේ පන්ති කිහිපයක ළමුන්ට ඉගෙන ගැනීමට සිදුව ඇත්තේ පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන් මවුපියන් හා විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ඉදිකරදී ඇති තාවකාලික ටකරං මඩු තුළය. ශාලා තුළ තදබදය නිසා බොහෝ විට පාසල් මිදුලේද පන්ති පවත්වන අතර ගුරු නිවාසය තුළ ද පන්තියක් පැවැත්වේ.

ප්‍රමාණවත් තරම් ගොඩනැඟිලි නොමැතිවීම නිසා පාසලේ දරුවන් මෙන්ම ගුරුවරුන් ද පීඩා විඳිති. ගුරුවරුන් බොහෝ දෙනෙක් දිවා ආහාර ගන්නා ගුරු විවේකාගාරය හා පාසලේ මුළුතැන්ගෙය ද අබලි ද්‍රව්‍ය දමන ගබඩා කාමරය ද වන්නේ ටකරං තහඩුවලින් වටකළ මඩුවකි. පාසලේ පවතින අඩුපාඩු හේතුවෙන් තම දරුවන් පත්ව ඇති අසීරුතාව හා ඔවුනට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ළමුන්ගේ මවුපියෝ මෙසේ අදහස් දැක්වූහ.

කේ. වෙන්නිලා මහත්මිය: මේ තෙල්බැද්ද දෙමළ විද්‍යාලයේ ළමයි 250ක් විතර ඉගෙන ගන්නවා. ඒ හැමෝටම තියෙන්නේ හෝල් දෙකයි. ඒ නිසා ළමයි ගොඩක් දෙනා ඉගෙනගන්නේ ටකරං මඩු ඇතුළේ. වැසිකිළිත් දෙකයි තියෙන්නේ. විවේක වෙලාවට ළමයි වැසිකිළි යන්න පෝලිමේ ඉන්න ඕනෑ. ළමයින්ට ඇති තරම් ඩෙස්, පුටු නෑ. ලොකු පන්තිවල ගොඩක් ළමයිනුත් පාවිච්චි කරන්නේ පොඩි පන්තිවලට දෙන ඩෙස් පුටු. ඒවාත් බොහොමයක් වෙනත් පාසල්වලින් ඉල්ලාගත්ත ඒවා. අපි දුප්පත් වතු කම්කරුවන් නිසා ද අපේ ළමයින්ට මෙහෙම කරන්නේ.

කේ. පුගල්රාජන් මහතා: මේ පාසලේ අධ්‍යාපනය කලින් තිබුණාට වඩා ගොඩක් හොඳ තත්ත්වයක තිබෙනවා. ඒත් අවශ්‍ය පහසුකම් නැතිව ගුරුවරු වුණත් සමහර විෂයයන් උගන්වන්නේ කොහොමද? ආණ්ඩුව කියන්නේ පාසල්වල 6 – 9 පන්තිවල ළමයින්ට කොම්පියුටර් තාක්ෂණය අනිවාර්යයි කියලා. ඒත් අපේ ළමයින්ට කොම්පියුටරයක් තියා විදුහල් ශාලාවලට හරියට ලයිට්වත් නෑ. ළමයින්ට පොතක් පත්තරයක් බලන්න පුස්තකාලයක් නෑ. ටවුන්වල සමහර පාසල්වලනම් පාවිච්චි නොකර පැත්තකට දාල තියන්න තරම් සම්පත් තියෙනවා. පාසලේ ක්‍රීඩා පිටියත් මවුපියන්ගේ ශ්‍රමදායකත්වයෙන් සාදා ගත්ත පොඩි පිට්ටනියක්. ඒත් ළමයින්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා භාණ්ඩ කියලා අඩුගානෙ බෝලයක්වත් පාසලට ලැබිල නෑ. ඒ නිසා පිට්ටනිය වල්වදිනවා.

එන්. විග්නේෂ්වරී මහත්මිය: වත්තෙ ළමයි ආවත් මේකත් ආණ්ඩුවේ ඉස්කෝලයක්. ආණ්ඩුවෙන් හැම පහසුකමක්ම දෙන ලොකු ලොකු ඉස්කෝලවල ළමයින් ලියන විභාගෙටමයි අපේ ළමයිනුත් ලියන්න ඕන. ඒ ඉස්කෝලවල ඒ ඒ පන්තිවලට උගන්වන සිලබස් එකමයි අපේ ළමයින්ටත් උගන්වන්නේ. ඒත් ඒ ළමයින්ට ලැබෙන පහසුකම් කිසිවක් අපේ ළමයින්ට ලැබෙන්නෙ නෑ. සමහර ඉස්කෝලවල හැම පහසුකමක්ම තියෙන පිට්ටනි, හැම ක්‍රීඩාවකටම අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ, පුස්තකාල, විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර විතරක් නෙවෙයි වාහන, පිහිනුම් තටාක පවා තියෙනවා. අපේ ළමයින්ට අඩුගාණෙ අව්වෙන් වැස්සෙන් බේරිලා ඉගෙනගන්න පන්තියවත් හරියට නෑ. ඒකත් ටකරං මඩුවක්. මේක සාධාරණයි කියලා ආණ්ඩුවේ මහත්තුරු හිතන්න ඕනෑ.

මවුපියන්ගේ මේ අදහස් හා චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී බ/ තෙල්බැද්ද වත්ත අංක 01 දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය වන එන්.බී. ප්‍රභාකරන් මහත්මිය සඳහන් කළේ ඔවුන් පවසා ඇති කරුණු සත්‍ය නමුත් මේ වන විටත් තමන් ඒ සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කර අදාළ අවශ්‍යතාවන් පිළිබඳව ඉල්ලීම් සිදුකර ඇති බවත්ය.

අඩුපාඩු තිබුණත් පවතින සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අපි පාසලේ අධ්‍යාපන කටයුතු හැකි උපරිමයෙන් කරගෙන යනවා. ඒ සඳහා ගුරුමණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද උපරිම සහාය ලබදෙනවා. ඒ අනුව පසුගිය වසරේ පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් 19 දෙනාගෙන් 05 දෙනෙක් සමත්ව 18 දෙනෙකු ලකුණු 70 ඉක්මවා ලබාගැනීමත් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ ළමුන් 12 දෙනෙකුගෙන් 06 දෙනෙකු ඉන් සමත්වීමත් මෙම තත්ත්වය මත ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. එපමණක් නොවේ මේ පාසලට පැමිණෙන බොහෝ දරුවන් ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමක සිටින පවුල්වල දරුවන්. ඒ නිසා 1- 5 වසර දරුවන්ට රජයෙන් දිවා ආහාර වේල ලැබෙන අතරේ වෙනත් බොහෝ පාසල්වල නොමැති වැඩපිළිවෙළක් පවා ක්‍රියාත්මක කරමින් බාහිර පරිත්‍යාගශීලීන්ගේ හා මවුපියන්ගේ ද සහයෝගයෙන් පාසලේ සියලුම දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අප ක්‍රියාත්මක කර තිබෙනවා යැයි” විදුහල්පතිනිය වැඩිදුරටත් පැවසුවාය.

හාලිඇල සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT