පෙම්වතියගේ පියාගේ සැලසුමක්
ජීවිත හානියක් සිදුවී ඇති බවට සැක
සිය පෙම්වතිය මුණගැසීමට ඇගේ නිවසට පසුගිය 22 වෙනිදා ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටින කුලියාපිටියේ පදිංචි තරුණයාව අත්පා බැඳ මෝටර් රථයක දමාගෙන වයඹ පළාතේ හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පොලිසිය ආරම්භ කර ඇත.
මෙම තරුණයාව අතුරුදන් කර ඇතැයි කියැවෙන පෙම්වතියගේ පියා කුලියාපිටිය රෝහලේ සේවයේ නිරත සුළු සේවකයකු බව ද පොලිසිය කියයි. තරුණයා අතුරුදන් කර ඇත්තේ සිය දියණිය මගින් තරුණයාව නිවසට ගෙන්වාගෙනය. මෙම අපරාධය කල්තියා පෙම්වතියගේ පියා විසින් සැලසුම් කර තිබී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ සඳහා පෙම්වතියගේ පියා විසින් කැප්පෙටිපොළ ප්රදේශයෙන් හිතවතුන් දෙදෙනෙක් ගෙන්වාගෙන සිට ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මේසන් බාස්වරු වන ඔවුන් දෙදෙනාව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) සිය භාරයට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔවුන් පවසා ඇත්තේ තරුණයාගේ ජීවිතයට එම අවස්ථාවේ දී කිසිඳු හානියක් නොකළ බවය. මෝටර් රථයේ දමාගෙන දේශපාලනඥයෙකුගේ නිෙවසකට ඔහුව රැගෙන ගිය බව ඔවුන් පවසන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. තරුණයාට ඉන් එහාට සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බව ඔවුන් දෙදෙනා පවසා ඇත.
මෙම පුද්ගලයන් සැබෑවක් පවසන්නේ දැයි සොයා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුලියාපිටියට ඔවුන් දෙදෙනාව රැගෙන ඒමෙන් පසු අදාළ දේශපාලනඥයාගේ නිවසට ඔවුන් දෙදෙනාගේ මඟපෙන්වීම මත ගොස් පරික්ෂා කිරීමට නියමිතය. මේ වන විටත් පොලිසියේ බුද්ධි නිලධාරීන් එම දේශපාලනඥයාගේ නිවස පිහිටි ප්රදේශයේ ආවේක්ෂණ කටයුතුවල නිරතව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම දේශපාලනඥයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ අතුරුදන්ව සිටින තරුණයාගේ පෙම්වතියගේ පියා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
පොලිසිය සැකකරනුයේ අතුරුදන්ව සිටින තරුණයාගේ ජීවිතයට මේ වන විට හානියක් සිදුව ඇති බවය. පෙම්වතියගේ පියා විසින් පවුලේ සාමාජිකයන් ද රැගෙන පලාගොස් ඇත්තේ ඒ නිසා විය හැකි බව ද පොලිසිය සැක පහළ කරයි.
තරුණයාව නිෙවසට ගෙන්වාගෙන මෙම අපරාධය කර ඇති බවත් ඒ වෙනුවෙන් මෝටර් රථයක් පවා ඊට දින දෙකකට පෙර කුලී පදනම මත ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු මෝටර් රථය නැවත කුලියට ගත් ස්ථානයට ලබා දී කුඩා වෑන් රථයක් කුලියට ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
කුලියාපිටිය කබලෑවේ පදිංචිකරුවෙක් වන 31 හැවිරිදි වියේ පසුවන සුසිත් ජයවංශ නමැති තරුණයා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. ඔහු ආහාර පාන අලෙවිසලක් පවත්වාගෙන යන්නෙක් බව ද පොලිසිය කියයි. ඇගේ පෙම්වතිය අවුරුදු 18ක් වයසැති තැනැත්තියකි. පෙම්වතියත් ඇගේ 12 සහ 08 යන වයස්වල පසුවන සහෝදරියත් සහෝදරයාත් මවුපියනුත් මේ වන විට ගේ දොර අතහැර දමා පලාගොස් සිටිති. ඒ හැරුණුකොට යාබද නිවසක පදිංචිව සිටි පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැඟණියගේ සැමියාත් ගේදොර අතහැර පලාගොස් සිටින්නන් අතර සිටින බව පොලිසිය කියයි.