Home » ඔන්මැක්ස් ඩීටී සමාගම සතු ඉඩම් 31ක් ගැන තක්සේරු වාර්තාවක් ඉල්ලයි

ඔන්මැක්ස් ඩීටී සමාගම සතු ඉඩම් 31ක් ගැන තක්සේරු වාර්තාවක් ඉල්ලයි

පිරමීඩ වංචාවට හසුවූ අයගෙන් තවම පැමිණිලි ලැබෙන බව CIDය කියයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු කළැයි කියන සිද්ධියට අදාළ ‘ඔන්මැක්ස් ඩීටී” පෞද්ගලික සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන් සන්තකයේ තිබූ රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 31ක් සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් කැඳවීමට තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඊයේ (02) ඉල්ලීමක් කළේය.

එම ඉඩම් විකිණීම පැවරීම තහනම් කරමින් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති බවත්, සැකකරුවන් විසින් අදාළ ඉඩම් මිල දී ගත් වටිනාකම රුපියල් බිලියනයක පමණ මුදලක් වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, එම ඉඩම්වල තක්සේරු වටිනාකම ගණනය කළ යුතුව ඇති බැවින් එම ඉඩම් පිහිටි ප්‍රදේශවලට අයත් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යාල නවයක් සඳහා අදාළ නියෝග නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවිණි.

මෙම පිරමිඩ වංචාවට හසුවූ පුද්ගලයන් විශාල පිරිසක් තවමත් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින අතර මේ වන විට පැමිණිලි 345කට අධික ප්‍රමාණයක් තම අංශයට ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම තහනම් පිරමිඩ ගනුදෙනුවේ මුදල් ආයෝජනය කර ඇති අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් මුදල් ආපසු ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අනූජ ප්‍රේමරත්න සහ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් සඳහන් කර සිටියේ, තම සේවාදායකයන්ගේ සියලු වත්කම් සහ දේපොළ මේ වන විට තහනම් කර ඇති බැවින් එවන් ක්‍රමවේදයක් සිදු කිරීමට නොහැකි වී ඇති බවය. එමෙන්ම අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් තුළ සියලු තැන්පත් මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකි බව ද නීතිඥවරු සඳහන් කළහ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ මුදල් තැන්පත්කරුවන් වෙත ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් පිළිබඳ සැලැස්මක් අධ්‍යයනය කර එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බැංකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා ඇති එම තහනම ඉවත් කිරීමට හැකියාව පිළිබඳ සොයා බැලිය හැකි බවය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම සේවාදායකයන් ඇප කොන්දේසි වශයෙන් දක්වා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට යෑමේදී ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය වන ආකාරයේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බවය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කළේ අදාළ සැකකරුවන්ට නිසි ආරක්ෂාව සපයන ලෙසය.

මෙම නඩුවට අදාළ සැකකරුවන් වන ඔන්මැක්ස් ඩීටීහි අධ්‍යක්ෂවරුන් වූ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන් ඇප මත සිටිමින් ඊයේ (02) අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙහි සැකකාර සම්පත් සඳරුවන් යන අය වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම පිරමිඩ වංචාවේ මහමොළකරු වන ඔන්මැක්ස් ඩීටී පෞද්ගලික සමාගමේ සභාපති බස්නායක වලව්වේ මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක, ඔහුගේ හවුල්කාර ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස්විලි සහ ඔන්මැක්ස් ඩීටී වෙබ් අඩවිය නිර්මාණය කළ මෘදුකාංග ඉංජිනේරු (වී ටෙක් මෘදුකාංග ආයතනයේ හිමිකරු) ගයාන් වික්‍රමතිලක යන අයවලුන් ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් වූයේ ඉකුත් 11 වැනිදාය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තියට අනුව මෙම අයවලුන් සිදු කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT