Home » මට දුන් ආහාරයකට කවුරු හෝ වස දමා තිබුණා

මට දුන් ආහාරයකට කවුරු හෝ වස දමා තිබුණා

මන්ත්‍රි රොෂාන් රණසිංහ

by mahesh
May 3, 2024 1:00 am 0 comment

විදේශ රටකට යනකොට තමන්ගේ ආහාරයට කවුරුන් හෝ වස දමා තිබූ බව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කළ මැයි දින රැලිය අමතමිනි.

අම්පාර නගර ශාලා භූමියේදී පැවැති මේ රැලියට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා ඇතුළු එම පක්ෂයේ නායකයෝ සහභාගි වූහ. මෙම මැයි දිනයේ ප්‍රධාන තේමා පාඨය වූයේ ‘දූෂණය නවතමු – මව්බිම ගොඩ නඟමු’ යන්නයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ආරාධනයකට අනුව මම රටවල් ගණනාවක සංචාරයක නිරත වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව සහ ජපානය ඒ අතර වුණා. මම ජපානයට ගිහින් ගුවන් යානයෙන් බහිනකොට මගේ බහිශ්‍රාව පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා. එයින් මම මාස එක හමාරක් දුක් වින්දා. මම මේක ප්‍රසිද්ධ කළේ නෑ. සමහර දේශපාලන නායකයන් කතා කර අහනවාලු රොෂාන් රණසිංහ ඔත්පල වෙලා නේද කියලා. හොරාට කලින් කෙහෙල් කැන පැනලා. මට ජපානයේදී කළ පරීක්ෂණවලින් පැහැදිලිව නිරීක්ෂණය වුණේ මට දුන් ආහාරවල රසායනික ද්‍රව්‍යයක් තිබී ආහාර විස වීමෙන් තමයි බහිශ්‍රාව පද්ධතිය අකර්මණ්‍ය වුණේ කියලා. ඒක සුව කරගෙන මම ලංකාවට එනකොට මූත්‍රා බිඳක්වත් පිටවෙන්නේ නැති තත්ත්වයට පත් වුණා. කවුරු හෝ ආහාරවලට වස දැම්මා. මම නොදැනුවත්ම ඒවා ආහාරයට ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම ලෙඩ වුණා.

සමහරු බලන්නේ මිනිස්සු මරලා, මිනිසුන්ට අපහාස කරලා, නැති වැරදි දාලා, හිරේ දාලා බලයට කෑදරකමින් බලය ගන්න. අද වෙනකොට රටක් හිඟන්නෝ කරලා සහල් බෙදීමේ උත්සව කරනවා. මෙහෙම කරන්න ලැජ්ජාවක් නැද්ද?

පිටරටින් හම්බ වුණු හාල් ටික දේශපාලන වාසි ගන්න ගබඩා කර තියලා මිනිස්සුන්ට දෙනකොට පුස්කාලා. මේ දේශපාලුවෝ හිතනවා, ඡන්ද ළංවෙන කොට මොනවා හරි බෙදලා ඡන්දය ගන්න. අන්න ඒක අපි වෙනස් කළ යුතුයි. එසේ වෙනස් කිරීමට හැක්කේ එළැඹෙන ජනාධිපතිවරණයේදී බව මතක තියා ගන්න.

රාජ්‍ය නායකයා හැටියට රාජ්‍ය පාලනය ගත් නායකයන් වැඩි හරියක් පෙට්ටි කඩයක්වත් කරලා නෑ. ගුරුවරයෙක් හැටියටවත් වැඩ කරලා නෑ. ගොවියෙක් හැටියට වැඩ කරලා නෑ. කම්කරුවෙක් හැටියට වැඩ කරලා නෑ. ප්‍රභූ පවුලකින් ඇවිල්ලා කිසිම රස්සාවක් නොකර ඉඳලා රාජ්‍ය පාලනය භාර ගන්නවා. ඒ අය දන්නේ නෑ ගමේ ප්‍රශ්නය. මේක තමයි යථාර්ථය.

දැනට කරලා තියෙන සමීක්ෂණ අනුව පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් 150කට වැඩි පිරිසක් ගෙදර යනවා. හැබැයි අපට ඉඟුරු දීලා මිරිස් ගන්න බෑ. 150ක් ගෙදර යනකොට අපි මේකට ගේන්න පුළුවන් අලුත් පිරිසක් නිර්මාණය කළ යුතුයි. ඒ භාණ්ඩාගාරයේ මුදල් ගෙදර ගෙනියන හොර තක්කඩි නෙවේ. ආර්ථික හයියක් තියෙන, මහ පොළොවේ මිනිහගේ දුක දන්න, පෙට්ටි කඩයක්වත් කර අත්දැකීමක් තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනියන්න ඕනේ. මම මේ රටේ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔබ ඉදිරියට එන්න කියලා.”

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා

“රොෂාන් රණසිංහ මහතාට ව්‍යාපාර දැනුම තියෙනවා. දුරදක්නා නුවණ තියෙනවා. මිනිසුන්ගේ දුක තේරෙනවා. අපට අවශ්‍ය ඒ වගේ නායකයෙක්. ඒ නිසා අපි ආරාධනා කරනවා, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකත්වය ගෙන මේ රට භාරගැනීමට එන්න කියලා. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා.

ගොවීන්ට අවශ්‍ය ට්‍රැක්ටරයක් ලංකාවට හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ තුනක වගේ මුදලකට ඒක කරන්න පුළුවන්. තව නොබෝ දිනකින් මේ රටේ පාලනය ඔබතුමාට එනවා. එදිනට අපේ රටේ තරුණ ජීවිත විනාශ කරන කුඩ්ඩන් එල්ලන්න කියලා මම යෝජනා කරනවා. එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මත කරන්න. එතකොට මේ රට හදන්න පුළුවන්. දිගාමඬුල්ලේ ගොවි ජනතාව ගොඩනඟන වැඩපිළිවෙළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සතුයි.මාළුවෙක් නොව බිලී පිත්තක් දෙන දර්ශනය තියෙන ලංකාවේ එකම පක්ෂය අපේ පක්ෂයයි.”

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සුදත් ජයසිංහ, ප්‍රධාන ලේකම් ගෝමිත යසස් මහත්වරු ද රැලිය ඇමැතූහ.

දිගාමඬුල්ල විශේෂ - වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT