Home » මහියංගණ ජාතික පාසලේ ගොඩනැඟිලි ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

මහියංගණ ජාතික පාසලේ ගොඩනැඟිලි ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

මහියංගණ ජාතික පාසලේ ගොඩනැඟිලි ගැටලුවට විසඳුම් දෙන්න මවුපියන් සමඟ සාකච්ඡාවකට ඊයේ (02) විද්‍යාලයට පැමිණෙන බව කියූ මහියංගණ කලාප අධ්‍යක්ෂවරයා එහි නොපැමිණීම හේතුවෙන් මේ වසරට පාසලට ඇතුළත් කර ගත් දරුවන් 273ක් මවුපියන් විසින් නිවෙස් කරා රැගෙන යනු ලැබීය. එසේම 06 ශ්‍රේණිය දරුවන් ඊයේ (02) උදෑසන පාසල් නොපැමිණි අතර, මවුපියන් සමඟ පාසලේ උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත සාකච්ඡාවට එම දරුවන් ද පැමිණ සිටිනු දක්නට ලැබීය.

පසුගියදා (30) මහියංගණ පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් පොරොන්දුව කඩ කරමින් මහියංගණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඊයේ (02) එම සාකච්ඡාවට නොපැමිණීමෙන් මවුපියෝ දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව තහවුරු කර දරුවන් රැගෙන නිවෙස් කරා පිටව ගියහ.

මහියංණ ජාතික පාසලට මේ වසරේ 06 ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ආරක්ෂිත ගොඩනැඟිල්ලක් සහ පන්ති කාමර විද්‍යාලයේ නොමැතිකමින් එම දරුවන් දැඩි පීඩාවකට පත්ව සිටී. මේ හේතුවෙන් තම දරුවන් වෙනුවෙන් මවුපිය සහ පරිත්‍යාගශීලින්ගේ ධනයෙන් ලක්ෂ 25ක වියදමින් විද්‍යාලයට ගොඩනැඟිල්ලක් සාදා දීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා පසු ගිය 30 වැනි දින මවුපියන් මහියංගණ කලාප කාර්යාලය සහ මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වෙමින් පැවසුවේ රජයෙන් පාසලට ගොඩනැඟිල්ලක් දෙන්නේ නැත්නම් මවුපියන්ගේ මුදලින් හෝ එය සෑදීමට අවසරය සහ අනුමැතිය දෙන ලෙසයි.

පසුව එම ස්ථානයට පැමිණි මහියංගණ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්.සී.ආර්. වික්‍රමරත්න මහතා මවුපියන් සමඟ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර පාසල තුළ දරුවන් අනාරක්ෂිතව රැඳී සිටිනවා යැයි පැවසෙන ස්ථාන ද නිරීක්ෂණය කර සියලු පාර්ශ්ව ගෙන්වා ඊයේ (02) සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කරනු ලැබීය. ඊට මහියංගණ කලාප කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සහ නිලධාරීන් පැමිණෙන බවට දැන්වීමෙන් පසුව මවුපියෝ විරෝධතාව නතර කර විසිර ගියහ.

මාපාකඩවැව සමූහ - එච්. එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT