Saturday, May 18, 2024
Home » ‘කුමාරයා’ කොටුවෙයි

‘කුමාරයා’ කොටුවෙයි

by chanaka
May 4, 2024 4:58 pm 0 comment

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

රුමේනියාවේ රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට තරුණයින් තිදෙනෙකු අද දින කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, තවත් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීම සඳහා සැකකරු බත්තරමුල්ල දියත උයත අසලට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් බත්තරමුල්ල දියත උයන අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

රුමේනියා රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයින්ගෙන් මෙම සැකකරු රුපියල් ලක්ෂ 3-7 අතර මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, ඒ අනුව සැකකරු රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු වැලිමඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් කුමාර ජයතිලක නම් පුද්ගලයෙකු වන අතර, කොළඹ රැදී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටත්, මීට පෙර මෙම සැකකරු රුමේනියාවේ සේවය කරන ලද පුද්ගලයෙකු බවටත් වැඩිදුර විමර්ශනවලදී කරුණු හෙළිවී තිබේ. මෙම ජාවාරම සඳහා සැකකරුට සහාය වූ තවත් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර, ඉදිරියේදී ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම හා මුදල් අයකිරීම යන චෝදනාව යටතේ, අත්අඩංගුවට ගත් සැකකරු අද (04) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විමර්ශනය සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන එම්.කේ.සුමනවීර, රවීන්ද්‍ර අබේපාල, නාලක මාමල්ගහ, එච්.පී.පී.රංගිකා සහ කිත්සිරි අමරනාත් යන නිළධාරීන් සහභාගි විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT