මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200ක පමණ වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05) සිදුවිය.
අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT ස්කෑන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලට ලබා දීමට කටයුතු කර ඇත. මෙම නව CT ස්කෑන් යන්ත්‍රය මඟින් දිනකට CT ස්කෑන් පරීක්ෂණ 40ත් – 50ත් අතර ප්‍රමාණයක් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේදී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරීමට හැකි වේ. එමඟින් දැනට CT ස්කෑන් පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛන අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
පැරණි CT ස්කෑන් යන්ත්‍රය වසර 17ක් පමණ පරණ CT ස්කෑන් යන්ත්‍රයකි. මඩකළපුව සහ අනුරාධපුර රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලද යන්ත්‍ර කොටස් උපයෝගි කරගෙන වසර දෙකක් වැනි කාලයක් තිස්සේ දිනකට CT ස්කෑන් පරීක්ෂණ 50ක් පමණ එමඟින් සිදු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සංවර්ධන කටයුතු ද මෙහිදී නිරීක්ෂණය කරන ලද අතර, අනතුරුව රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක්විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රෝහල් 40කට පමණ ගොස් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් නිරීක්ෂණය කළ බවත් 2024 වසරේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 35ක් ලබාදීමට කටයුතු කළ බවයි. නමුත් තවත් රුපියල් මිලියන 20ක මුදලක් රෝහලට ලබාදීමට කටයුතු කරන බව ද මාතර නව රෝහලේ ඉදිරි කටයුතු සඳහා ලබන වසරේ රුපියල් බිලියනයක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.
ලබාදෙන මුදල්වලින් සිදු කරන සංවර්ධන කටයුතු නිතර අධීක්ෂණයට ලක් කරන ලෙසත් රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ වැනි භෞතික සම්පත් ද විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද මානව සම්පත් හිඟයට ද කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මාතර දිස්ත්‍රික් මහ රෝහල අක්කර 08ක භූමිභාගයක පිහිටා ඇත. ඇඳන් ධාරිතාව 851කි. වාට්ටු හා රෝගී ඒකක 32කින් යුක්ත වේ. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ඒ.ඩී.යූ. කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වී සිටියහ.