යුනෙස්කෝව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තරයටත් සතිමත්භාවය පිළිබඳ වැඩසටහන ගෙන යන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (03) කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවති ගෝලීය සති සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“පාසල් පද්ධතිය තුළ මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළත් සතිමත්භාවය සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් නිසි මානසික ඒකාග්රතාවකින් යුතුව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමටත්, ගුරුභවතුන්ට නිසි ලෙස ඉගැන්වීම් සිදු කිරීමටත් අවකාශ සැලසෙනවා. එමඟින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස, වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් සිදු කිරීමට අපේක්ෂා කරනවා.
වර්තමානයේ ලොව ප්‍රකට වෛද්‍ය විද්‍යාලවල පවා දේශන පැවැත්වීම සියයට 30කට සීමා කර ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සඳහා වැඩි ඉඩක් දෙනවා. මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධානීන්ගේ ද සහභාගීත්වය ඇතිව මේ පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. විද්‍යා තාක්ෂණ විෂය පදනම් කර ගත් කුමන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් තුළ වුවත් අවසන් විග්රහයේදී මානසික ඒකාග්‍රතාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. ඒ අනුව සතිමත්බව පිළිබඳ සංකල්පයේ ඇති වැදගත්කම නිසාම එය ජාත්‍යන්තර තලය දක්වා ගෙන යෑමේ අපේක්ෂාවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ඊට ප්‍රථමයෙන් ගැනීමට අපේක්ෂා කරනවා. එහි ඉදිරි පියවරක් ලෙස එළැඹෙන 23 වැනිදා පැරිස් නුවරදී වෙසක් දිනය සමරනවා. යුනෙස්කෝ සංවිධානයටත් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයට මා තේරී පත්ව සිටීම මෙහිදී යම් පහසුවක් වෙනවා. ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද මේ සංකල්පය ඉදිරිපත් කිරීමට ක්‍රියා කරනවා.
මේ සති පාසල් සංකල්පයේ නිර්මාතෘවරයා වන්නේ උඩඊරියගම ධම්මජීව නාහිමියන්. උන්වහන්සේ සමඟ ක්‍රියාකාරීව පවත්වාගෙන ගිය සති පාසල් වැඩසටහන වසර දෙකක කාලයක් තුළ රට තුළ සහ එයින් ඔබ්බට ද ගෙන යෑමට හැකි වුණා. මේ සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථකව කලාප මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මේ කාර්යය ඉදිරියට ගෙන යෑමට සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය අත්‍යවශ්‍යයි.”
මේ අවස්ථාවට අකුරටියේ නන්ද හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ගෝලීය සති සමුළුවේ සභාපති රංජන් වලපොල මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.