මේ රටේ ලක්ෂ විස්සකට අධික ජනතාවකට තමන්ටම හිමි ඉඩමක් ලබා ගැනීම සිහිනයක්ව තිබූ බවත්, එය යථාර්ථයක් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කළ ‘උරුමය’ නම් ඔප්පු දීමේ වැඩසටහනෙන් හැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම්ලාභීන්ට සින්නක්කර ඔප්පු දීමේ උත්සව සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“මේ ඉඩම් ඔප්පු දීමේදී රාජ්‍ය යාන්ත්‍රණය හරියටම ක්‍රියාත්මක වන්නේ නම් මාස තුනකින් මේ ලක්ෂ විස්සටම ඔප්පු දී අවසන් කරන්න පුළුවන්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉපදුණු සෑම පුරවැසියකුටම තමා කැමති තැනක පදිංචිව සිටීමේ අයිතිය තහවුරු කර දී තිබෙනවා. ඒත් එය සියවස් කිහිපයක් පුරා ඉටු නොවුණු ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ජනතාවට මෙතෙක් අහිමිව තිබූ මේ මූලික අයිතිවාසිකම රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා දැන් ඉටු කර දෙනවා.
මෙරට ඉතිහාසයේ මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඉඩමක අයිතිය යම් කෙනකුට දෙනවා කියන්නේ ඒ රටේ ආර්ථිකය වේගයෙන් විශාල පිම්මක් පනිනවා කියන එකයි. මෙයින් සමස්ත ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේත්, අනෙක් ඉඩම් අයිති ජනතාවගේත් ජීවිත ආලෝකවත් වෙනවා පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ශක්තිමත් වෙනවා.
ගාල්ලේ බද්දේගම උපන් සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ මහතා යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා. එතුමා මෙරට පළමු ඉඩම් කොමසාරිස්වරයා වගේම මෙරට මුල්ම සිංහල දිසාපතිවරයා. එතුමා එම දිසාපති තනතුර දැරූ පොලොන්නරුවෙන්ම එතුමාගේ මුනුපුරා වූ රනිල් වික්‍රමසිංහ මහතා අද මේ රටේ ජනතාවට මෙලෙස ස්ථිර ඉඩම් ඔප්පු දීම ආරම්භ කිරීම දෛවෝපගත සිද්ධියක්.
මේ රටේ ඉඩම්වල අයිතිය මුලින්ම තිබුණේ රජයට. පසුව ඉඩම් පනත සංශෝධනය කරමින් දැන් ඉඩම්වල අයිතිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට දී තිබෙනවා. නමුත් මම කියන්නේ ඒ නීතිමය තත්ත්වය ද වෙනස් කරමින් ඉඩම් පිළිබඳ කරුණුවලදී අභියාචනා විමසීමේ අයිතිය දිසා ලේකම්වරුන්ට හිමි වන පරිදි ඉඩම් ආඥා පනත යළි වෙනස් කිරීමට පියවර ගත යුතුයි කියලයි.”
මේ අවස්ථාවට ඇමැති රමේෂ් පතිරණ, මන්ත්‍රී සම්පත් අතුකෝරාල, ගාල්ල වැඩ බලන දිසා ලේකම් චාම් රාජකරුණා, අතිරේක ලේකම් (ඉඩම් ) අයේෂා කාරියවසම් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.