ආර්ථිකයේ ගෙන ඇති ප්‍රගතිය සහ රාජ්‍ය පාලන විනිශ්චය වාර්තාවට සමගාමීව ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රශංසාව හිමිව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන් අතර පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.
ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය ලබාගැනීම, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී සාකච්ජා කර තිබේ. දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීම අසකාවා මහතා එහිදී යළි අවධාරණය කළේය.
මේ අතර චීනයේ උප මුදල් ඇමැති ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතර හමුවක් ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර ජෝර්ජියාවේ ටිබිලිසිහි පැවැත්විණි.
මේ සාකච්ඡාවේදී චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට උපරිම සහයෝගය දෙන බවට සහතික විය. ඊට අමතරව චීනය සෑම අතින්ම ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහාය දක්වන බව චීන උප මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.