Home » ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

-ලක්ෂයකට අධික ජනතාවට ඉවත් වන්නැයි නියෝග

by sachintha
May 7, 2024 1:52 am 0 comment

ගාසා තීරයේ දකුණු කලාපයේ පිහිටි රෆා නගරයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව ජනතාවට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරියේදී එම කලාපයේ මෙහෙයුමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බැවින් නැගෙනහිර රෆා ප්‍රදේශයේ පදිංචිව සිටින ලක්ෂයකට අධික ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව ගුවන් මගින් දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ජනතාවට ඛාන් යූනිස් සහ අල් මවාසි පළාත්වලට සංක්‍රමණය වන ලෙස එම උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන බව ද වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව එම මෙහෙයුම සැලසුම් කර ඇත්තේ පසුගියදා ඊශ්‍රායල – ගාසා දේශසීමාව ආසන්නයේදී හමාස් මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සෙබළු තිදෙනකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රෆා නගරයෙන් ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කරනු ලැබුවද නගරය හැර නොයන බව එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සිය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. රෆා නුවරට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයකට පීඩා විඳීමට හෝ මිය යෑමට සිදුවනු ඇතැයි එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමේ ඊශ්‍රායල සැලසුම පිළිබඳ අමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT