Home » චීන-ප්‍රංශ ජනපති හමුවේ දී පුළුල් එකඟතා රැසක්

චීන-ප්‍රංශ ජනපති හමුවේ දී පුළුල් එකඟතා රැසක්

by chanaka
May 7, 2024 1:24 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (6) පස්වරුවේ එලිසේ මාලිගයේ දී පැවැත්විණ.

ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ස්ථාවරත්වය තහවුරු කිරීම තම අපේක්ෂාව බව ෂී ජින්පිං එහිදී අවධාරණය කළේය. ද්විපාර්ශ්වික වෙළඳාම නිසි අයුරින් වර්ධනය කරමින්. ප්‍රංශයේ උසස් කෘෂි නිෂ්පාදිත සහ නවීන තාක්ෂණික උපකරණ ආනයනය පුළුල් කිරීම සඳහා ද චීනය පියවර ගනු ඇත

ගුවන් සේවා, අභ්‍යවකාශ, න්‍යෂ්ටික බලශක්ති, නවෝත්පාදන සහ මූල්‍ය සේවා යන අංශවල දෙරට සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. හරිත බලශක්තිය, බුද්ධිමය නිෂ්පාදන, වෛද්‍ය සේවා, ඖෂධ නිෂ්පාදනය හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යන නවීන ක්ෂේත්‍රවල සහයෝගිතා මතු කරගත යුතු බව ද ඔහු පැවසීය. දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළේය. දැවැන්ත සංස්කෘතික රටවල් දෙකක් වන චීනය හා ප්‍රංශය අතර මානව හා සංස්කෘතික ඇසුර වැඩිදියුණු කළ යුතු බව ද ෂී ජින්පිං කියාසිටියේය.

එකිනෙකාට ගරු කරන ප්‍රංශය හා චීනය දූරදර්ශී ව සහයෝගිතා පවත්වා ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එහිදී කියාසිටි‍යේය. ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. චීනය සමග වඩාත් සමීප ආර්ථික සම්බන්ධතාවක් අපේක්ෂා කරන ප්‍රංශය, ඉන් වැඩි ප්‍රතිඵල දිනාගැනීම සඳහා ප්‍රයත්න දරනු ඇත. චීන ව්‍යාපාරවලට වෙනස්කොට සැලකීමේ පිළිවෙතක් ප්‍රංශය අනුගමනය නොකරන බවත්, චීන අධිතාක්ෂණික ව්‍යාපාර පිළිබඳ ආ‍යෝජනයන්ට ඇරයුම් කරන බවත් මැක්‍රොන් කියාසිටියේය. දේශගුණික විපර්යාසය, ජෛව විවිධත්ව ආරක්ෂාව, ඒ.අයි. තාක්ෂණය ඇතුළු ගෝලීය ප්‍රවණතා පිළිබඳව චීනය සමග අදහස් හුවමාරු තහවුරු කිරීමට ද අපේක්ෂා කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

අනතුරුව නායක දෙපළ රුසියානු – යුක්‍රේන අර්බුදය හා පලස්තීන – ඊශ්‍රායල ගැටුම ඇතුළු ගෝලීය සහ කලාපීය ගැටළු පිළිබඳව ද සාකච්ඡා කළහ. ද්විපාර්ශ්වික සහයෝගිතා රැසකට අදාළ ලේඛන 20 කට මෙහිදී අත්සන් තැබිණ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT