Home » කසිප්පු පෙරූ වරදට දඩ ගෙවා ඇවිත් නිවෙසක් කුලියට ගෙන නැවත කසිප්පු පෙරලා

කසිප්පු පෙරූ වරදට දඩ ගෙවා ඇවිත් නිවෙසක් කුලියට ගෙන නැවත කසිප්පු පෙරලා

by sachintha
May 7, 2024 1:56 am 0 comment

ගාල්ල, බෝපෙ, සපුමල් පෙදෙසේ පිහිටි නිවෙසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවා පැමිණ කුලියට ගත් නිවෙසක නැවත පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලා කසිප්පු විශාල තොගයක් සමඟ එම සැකකරු දෙවන වරටත් අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

සපුමල් පෙදෙසේ පිහිටි නිවෙස පොලිසිය විසින් වටලනු ලැබීමෙන් පසුව එම නිවෙස වසා දැමූ සැකකරු මාසිකව රුපියල් විසි දහසක කුලී පදනම යටතේ ගාල්ල, මහමෝදර ප්‍රදේශයෙන් ලබා ගත් නිවෙසක මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ. මහමෝදර නිවෙසේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලා සැකකරු සමඟ එහි තිබූ ගෝඩා මිලි ලීටර් දහහතර ලක්ෂ විසි අට දහසක්, බැරල් පහක් සහ ගෑස් ළිපක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බිරිය සමඟ එක් පුතෙක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඔවුන් විසින් මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම පවත්වාගෙන යෑම සඳහා මුදල් එවා ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඒ.එස්.එල්. නාරංගොඩ මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත, සැරයන්වරුන් වන විජිත් (35163), අමිල (38877), රෝහණ (31958), කොස්තාපල්වරුන් වන ඉන්දික (73036), පියබන්දු (81731), කාන්තා පොලිස් සැරයන් ප්‍රියන්ති (1719), රියැදුරු සැරයන් වීරසිංහ (13446) යන කණ්ඩායම මෙම වැටලීම සිදුකර තිබුණි.

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT