Home » ලංකා පාපන්දු අවසන් පූර්ව වටයට යාපනය-මහනුවර-ගාල්ල-කොළඹ

ලංකා පාපන්දු අවසන් පූර්ව වටයට යාපනය-මහනුවර-ගාල්ල-කොළඹ

by sachintha
May 7, 2024 2:02 am 0 comment

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෘෘප් පුද්ගලික සමාගම සංවිධානය කරන ‘ලංකා පාපන්දු කුසලාන‘ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට යාපනය, මහනුවර, ගාල්ල හා කොළඹ කණ්ඩායම් සමත් වූහ.

කොළඹ සිටිලීග් පිටියේදී ආරම්භවූ මෙම තරගාවලියේ පළමු තරග දෙකේදී යාපනය පිල ගෝල් 3-2කින් කලුතර පරාජය කළ අතර, මහනුවර පිල විසින් ගෝල් 9-0කින් නිගම්බු ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය.

නැ‌ෙඟනහිර හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයේදී කොළඹ පිල ගෝල් 1-0කින් ජය ලැබූ අතර, මධ්‍යම හා ගාල්ල අතර තරගයෙන් ගෝල් 2-1ක ජයක් ගාල්ල පිල දිනා ගත්තේය.

යාපනය – කලුතර තරගයේදී යාපනය පිල වෙනුවෙන් ඒ. ඩිලන්සන් ගෝල් දෙකක් හා එස්. ඥානරූබන් ගෝලයක් ලැබූ අතර, කලුතර පිලේ මොහොමඩ් අස්මීර් හා මොහොමඩ් අජ්මීන් ගෝල් වාර්තා කළහ.

මහනුවර – නිගම්බු ක්‍රීඩා සමාජ අතර තරගයේ සියලු ගෞරව දිනාගත් මහනුවර පිලේ නයිජීරියානු ජාතික අයි. ඔල්ඩමෙජී ගෝල් 2ක්, අකීබ් ෆයිසර් ගෝල් 2ක්, ඒ. රහුමාන් ගෝල් 2ක්, මොහොමඩ් ෆසාල්, නයිජීරියානු ජාතික ෂෙරල් පින්ගෝ හා ඒ. රහුමාන් ගෝලය බැගින් රැස් කළහ.

නැගෙනහිර – කොළඹ කණ්ඩායම් අතර තරගයේදී කොලඹ පිලේ යූ. සකීල් ගෝලයක් වාර්තා කළ අතර, මධ්‍යම – ගාල්ල තරගයේදී ගාල්ල පිලේ ඊ. බී. චන්න හා අනිල් ශාන්ත, මධ්‍යම පිල වෙනුවෙන් මොහොමඩ් මීරා ගෝල් වාර්තා කළහ.

ඒ අනුව පළමු අවසන් පූර්ව ගැටුම ලබන 11 වැනිදා පස්වරු 3.30ට මහනුවර හා යාපනය අතර, දෙවැනි අවසන් පූර්ව තරගය 12 වැනිදා පස්වරු 3.30ට ගාල්ල – කොළඹ පාපන්දු කණ්ඩායම් අතර කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වේ.

යාපනය, කොළඹ, කලුතර, මීගමුව, මහනුවර, මධ්‍යම, නැගෙනහිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් මෙම තරගාවලියට එක්ව සිටිති. මෙම කණ්ඩායම්වලට ජාතික පිල නියෝජනය කළ හෝ නොකළ ඕනෑම ක්‍රීඩකයෙකුට සහභාගීවිය හැකිවීම විශේෂත්වයකි.

ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් මිලියනයක් හා අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක් පිරිනමන මෙම තරගාවලිය කොළඹ පාපන්දු සමාජයේ නිර්මාතෘ හා එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය වේ. සෑම සති අන්ත දින දෙකකදීම කොළඹ සිටිලීග් පිටියේදී තරග දෙක බැගින් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මැයි මස 18 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT