Home » තිලංගගේ ‘තරණය’ එළිදැක්වේ

තිලංගගේ ‘තරණය’ එළිදැක්වේ

by sachintha
May 7, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තිලංග සුමතිපාල මහතාගේ දායකත්වය ලේඛනගත කරමින් ‘තරණය’ කෘතිය එළිදැක්වීමේ උත්සවය කොළඹ තරුපහේ හෝටලයකදී පසුගියදා සිඳුකෙරුණි.

“මෙම පොත ලොව පුරා ක්‍රිකට් පරිපාලනයේ විශාල වෙනසක් ඇති කරයි. ධනාත්මකව කටයුතු කරන්නේ කෙසේද? ඒ දේවල් හොඳින් සිදු නොවන විට ක්‍රීඩකයින්ට සහාය වන්නේ කෙසේද? යන්න මේ ග්‍රන්ථයෙන් ඉගෙන ගන්න පුළුවන්” වසීම් අක්‍රම් මහතා විසින් සහතිකයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් සහභාගිවී ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී සති තුනකට අඩු කාලයකදී ක්‍රිකට් වලින් රුපියල් බිලියනයක් ඉපැයූ මෙරට හොඳම සන්නාමයේ නිර්මාතෘවරයා සුමතිපාල මහතාය. ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස පැවැති ආයතනය ‘ශ්‍රී ලංකා ක්‍රිකට්‘ ලෙස නාමය වෙනස් කළේ ද සුමතිපාල මහතාගේ පාලන කාලයේදීය.

දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව විසි කිරීමේ ආරවුලකින් ගලවා ගැනීමට සුමතිපාල මහතා කළ කාර්ය භාරය සහ තහනම් උත්තේජක චෝදනාවෙන් පිතිකරු කුසල් ජනිත් පෙරේරා නිදහස් කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක මෙතෙක් හෙළිනොවූ කරුණු මෙම ග්‍රන්ථයේ සටහන් වේ.

ප්‍රවීණ ක්‍රීඩා ලේඛකයකු වන දමින්ද විජේසූරිය මහතා විසින් දීර්ඝ පර්යේෂණයකින් පසු මෙම කෘතිය රචනා කළ අතර, එම ග්‍රන්ථය එළිදැක්වීමේ උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා සහ ඔහුගේ බිරිය සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස පාකිස්තාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් මහතා ආරාධනා ලැබ සිටියේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, කුමාර් ධර්මසේන, උපුල් තරංග ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් හා හිටපු ක්‍රිකට් පරිපාලකයින්, නළුනිළියන් රැසක්ද එක්වූ මෙම උලෙළෙට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන එස්. බී දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එක්ව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සියලු ක්‍රිකට් විධායක සභිකයෝ ද මෙම උලෙළට පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT