Home » ගුරු සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට නිසි ලෙස පත්වීම් නොදීමෙන් බලවත් අසාධාරණයක්

ගුරු සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට නිසි ලෙස පත්වීම් නොදීමෙන් බලවත් අසාධාරණයක්

-පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ කැඳවුම්කරු විරාජ් වනරංග

by sachintha
May 8, 2024 1:09 am 0 comment

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පත්වීම් දී රජයේ විවිධ රැකියා සඳහා බඳවා ගත්තා. එම පිරිසෙන් ගුරු වෘත්තියට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට නිසි අයුරු පත්වීම් නොදීම නිසා මේ වන විට බලවත් අසාධාරණයක් සිදුවී තිබෙනවා.” යැයි අසාධාරණයට පත්වූ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ කැඳවුම්කරු විරාජ් වනරංග මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ අසාධාරණය වෙනුවෙන් අපට සහාය දැක්වීමට මේ වන විට ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සංගමය, සමස්ත ලංකා ගුරු සංගමය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සංගමය ඇතුළු සංගම් කිහිපයක් එකතුවී සිටිනවා.

අපි මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරමින් මනා පළපුරුද්දක් ලබා තිබෙනවා. ඒත් අධ්‍යාපන අමාත්‍යාංශය අපගේ ගුරු වරප්‍රසාද, ගුරු වැටුප් ඇතුළු සියලු දේ අහිමි කරමින් පත්වීම් නොදෙමින් විවිධ කාරණා ඉස්මතු කරමින් අසාධාරණය ලෙස පළි ගනිමින් කටයුතු කරනවා.

එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා පත්වීම් දුන් බොහෝමයක් උපාධියට ගැලපෙන විවිධ ආයතනවල පත්වීම් ගත්තා. කොටසක් ගුරුවරුන් ලෙස බඳවා ගනු ලැබූවත් නිසි පරිදි ගුරු තනතුරේ පත්වීම් මේ වනතුරු දී නෑ. අද ඒ සංවර්ධන නිලධාරීන් ඉතාමත් ශෝචනීය ඉරණමකට ලක්වී සිටිනවා.

අද පාසල්වල සේවය කරන ගුරුවරුන් පාසල් අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සඳහා අනුයුක්ත කර තිබෙනවා. ඒ තරමටම ගුරු වෘත්තිය බාල්දු කරමින් පාලකයන් කටයුතු කරනවා. මේ ගැන ඔවුන් ලැජ්ජා විය යුතුයි. ඒ නිසා අප ජනාධිපතිවරයාට කියා සිටින්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ජනාධිපති නිර්දේශය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

කොරෝනා වසංගතය වෙලාවේ අවදානම ගැන නොතකා බලෙන් ගෙන්වාගෙන රාජකාරි කර ගත්තා. පසුගිය ගුරු වර්ජනය වෙලාවේත් බලෙන් පාසල් ගුරු අඩුපාඩු සඳහා යොදා ගත්තා. අද වන විට ගුරු පුරප්පාඩු හතළිස් දහසකට අධික ප්‍රමාණයක් පවතින නිසා සංවර්ධන නිලධාරීන් ලෙස දැනට ගුරු සේවයේ යෙදී සිටින විසි දෙදහසක පිරිසට පහසුවෙන් පත්වම් දීමට හැකියාව තිබෙනවා.

ඇමැතිවරයා විවිධ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් චක්‍ර ලේඛන අනුව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නීතිරීතිවලට අනුව පත්වීම් දිය නොහැකියි. එසේ ගැනීමට නම් සියලු දෙනා විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. ඒත් අප කියා සිටින්නේ වසර හතරක ගුරු පුහුණුවක් ලබා ඇති නිසා තවත් විභාග අවශ්‍ය නොවන බවයි. මේ විසි දෙදහස විරෝධතා සඳහා පොළඹවන්නේ නැතිව සාධාරණ අයුරින් හිටපු ජනාධිපති නිර්දේශ ක්‍රියාත්මක කරමින් බඳවා ගත් දින සිට සේවා කාලය සහ වැටුප් පරිමාණවල පිහිටුවා පත්වීම් දී ජීවත්වීමට සරිලන වැටුපක් දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”

මෙහිදී සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ප්‍රධාන ලේකම් ඊ. එම්. ජේ. එස්. ද සේරම්, ශ්‍රී ලංකා විශ්‍රාමික ගුරු උපදේශකවරුන්ගේ සංගමය විධායක සභික සුරංගනී ගුණසේකර මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT