Home » මරණ පරීක්ෂණයකදී කළ යුතු දේ ගැන නිකවැරටියේ පොලිස් නිලධාරීන්ට උපදෙස්

මරණ පරීක්ෂණයකදී කළ යුතු දේ ගැන නිකවැරටියේ පොලිස් නිලධාරීන්ට උපදෙස්

by sachintha
May 8, 2024 2:40 am 0 comment

මරණයක් සිදු වූ අවස්ථාවකදී නිසියාකාර ලෙස මරණ පරීක්ෂණයට අදාළව කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නිකවැරටිය මූලස්ථාන පොලිසියේදී පැවැත්විණ. සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ධර්මසිරි මහතා විසින් නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 16හි පොලිස් නිලධාරීන් 135 දෙනකු මෙලෙස දැනුම්වත් කර තිබේ.

මෙහිදී හදිසි මරණයක් යනු කුමක්ද, මියගිය බව හඳුනා ගැනීම, මරණයක් සිදු විය හැකි ආකාර, මරණයේ ස්වභාවය තීරණය කිරීම, මරණ පරීක්ෂකවරයාගේ කාර්යභාරය, හදිසි මරණ පරීක්ෂණයක් සිදු කරන ආකාරය, දේහය පරීක්ෂා කිරීම, ස්ථාන පරීක්ෂාව, වාචික සහ ලිඛිත සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, මරණයට හේතුව නිගමනයක් ලබා දෙන ආකාරය, විවෘත තීන්දුවක් ලබා දෙන අවස්ථා, විවෘත තීන්දුවක් ලබා දුන් විට මරණ සහතිකයක් ලබා දෙන ආකාරය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කෙරිණි.

මේ සඳහා නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර, නිකවැරටිය, මහව, ගල්ගමුව, අඹන්පොළ, ගිරිබාව, පොල්පිතිගම, මීගලෑව, පන්සියගම, ගිරිල්ල, ඇහැටුවැව, නාගොල්ලාගම, මොරගොල්ලාගම යන පොලිස් ස්ථාන 16හි නිලධාරීන් වැඩසටහනට එක්ව සිටියහ. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සෙසු ස්ථානාධිපතිවරුන්ගේ ද සහාය ඇතිව වැඩසටහන සංවිධානය කෙරිණි.

නිකවැරටිය ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT