Home » රුසියාවට කුලී හේවායන් යවන ජාවාරමට අහුවෙන්න එපා

රුසියාවට කුලී හේවායන් යවන ජාවාරමට අහුවෙන්න එපා

-ශ්‍රී.ල.පො.ජ.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ

by sachintha
May 8, 2024 2:41 am 0 comment

පිරිස යවන්නේ යුද්ධ කරන්න නොවෙයි, බිල්ලට දෙන්නයි / ගොඩක් අය දැන් රුසියානු යුක්රේන දේශසීමාවල දුක් විඳිනවා

ආරංචිවල හැටියට සැලකිය යුතු පිරිසකගේ ජීවිතත් අහිමි වෙලා

රුසියානු යුක්රේන යුද පෙරමුණ වෙත හමුදා සහායකයන් ලෙස රැකියා ලබා දෙන බවටත්, එම රැකියා සඳහා රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබා දෙන බවටත් රවටමින් පුද්ගලයන් වෙත බලාපොරොත්තු ඇති කරමින් යුද පෙරමුණේ අතරමං කිරීමේ මිනිස් ජාවාරමක් සිදු වන බවත්, එසේ රැකියා ලබා දෙන බවට රවටමින් මිනිස් ජාවාරම් කරුවන් රුපියල් ලක්ෂ දහයේ සිට පහළොව දක්වා මුදල් අය කරන බවටත් තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රී.ල.පො.ජ.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි. ඒ මිනිස් ජාවාරම පිළිබඳව සහ එහි සුලමුල පිළිබඳව මන්ත්‍රීවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 

මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යුක්රේන සහ රුසියානු යුද පෙරමුණු වෙත යවන ජාවාරමක් පවතින බවට මේ දිනවල ලොකු කතා බහක් ඇතිව තිබෙනවා. මේ හෙළිදරව්ව පසුපස ඔබේ දායකත්වය දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම රුසියානු සහ යුක්රේන යුද පෙරමුණට ශ්‍රී ලාංකියන් යවන ජාවාරමේ සුලමුල සහ පසුබිම් කතාව කුමක්ද ?

දැනට රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ආරම්භ වී අවුරුදු දෙකක් ඉක්මවා ගිහින් තිබෙනවා. මේ යුද්ධය ආරම්භයේදී දෙරට හමුදා අතර ඇති වුණ යුද්ධයක් වුවද පසුව මේ යුද කටයුතු සඳහා විවිධ කුලී හේවායන් සහ ශ්‍රමිකයන් සම්බන්ධ වෙනවා. කොහොමත් රුසියානු හමුදාව සමඟ වෘත්තීය කුලී හමුදාවන් කටයුතු කරනවා. පසුගිය කාලයේදී රුසියාව තුළ විශාල කතාබහකට ලක් වූ කුලී හමුදා කැරැල්ලක් ඇති වුණා. ඒ නිසා රුසියානු යුද පෙරමුණුවල මේ විදිහේ වෘත්තීය කුලී හමුදා කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒ අය රුසියානු හමුදාවට සෘජුව සම්බන්ධ පිරිස් නොවෙයි. ඒත්, ඒ අය යුද්දය වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් මම කියන්නේ නැහැ ඒ අය රුසියාවට පමණක් සීමා වෙනවා කියලා යුක්රේනය සමඟ ද මේ විදිහේ කණ්ඩායම් සම්බන්ධව කටයුතු කරනු ලබනවා. මෙම යුද පෙරමුණුවලට යන පිරිස් වෙත ඉතාමත් ලොකු මුදලක් ලබා දෙන බවට පැවසෙනවා. මේ නිසා තමයි අපේ අයත් මේ යුද පෙරමුණට යොමු වීමට කැමැත්ත දක්වන්නේ.

මේ විදිහේ යුද කටයුතු සඳහා යොමු කරන පිරිස් වෙත විශාල වශයෙන් වැටුප් ලබා දෙන බවට ලැබෙන සහතිකය මොකක්ද?

මේ යුද කටයුතු සඳහා යොමුවන මෙරට සෙබළුන්ට රුපියල් ලක්ෂ ගණනක වැටුපක් ලබා දෙන බවට සඳහන් කර විසිතුරු චිත්‍රයක් මවනවා. ඒත්, ඒ චිත්‍රය ඔවුන් පෙන්වන තරම් සුන්දර හෝ විසිතුරු එකක් නොවන බවට තහවුරු වෙන්නේ කාලයක් ගතවූ පසුවයි. ඒත්, මේ ජාවාරම්කරුවන් ලස්සන සිහින පෙන්වලා ලැබෙන මුදල් කන්දරාව පෙන්වලා පිරිස් රවටා ගන්නවා. ඒ විදිහට රැවටුණ බොහෝ අය දැන් රුසියානු යුක්රේන දේශසීමාවල දුක් විඳිනවා. ඇත්තෙන්ම සිදුවන්නේ ජාවාරම්කරුවන් ලොකු මුදලක් අහිංසක සෙබළුන් රවටා ගරා ගැනීමයි.

ඇත්තෙන්ම මේ ජාවාරම්කරුවන් එක් පුද්ගලයකුගෙන් කෙතරම් මුදලක් ලබා ගන්නවාද?

අපට ලැබී තිබෙන තොරතුරු අනුව එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දහයේ සිට පහළොව දක්වා ලබා ගෙන තිබෙනවා.

විශ්‍රාමික සෙබළුන් සිය කැමැත්තෙන් යුද පෙරමුණට යාම නිසා එහි වරදක් නෑ නේද?

ඇත්තෙන්ම ඔවුන්ව ලොකු රැවටීමකටයි ලක් කර තිබෙන්නේ. එහිදී මේ ජාවාරම්කරුවන් කියන්නේ නැහැ ඔවුන් සෙබළුන්ව යවන්නේ වැග්නර් කුලී හමුදාවට හෝ වෙනත් කුලී හමුදාවකට කියලා. සෙබළුන්ට කියන්නේ ඔවුන්ව නීතියානුකූල රුසියානු හමුදාවට යවනවා කියලා. ඒත්, මේ පොරොන්දුව සම්පූර්ණයෙන්ම බොරුවක්. මෑත කාලයේ කිසිවකු නීතියානුකූල රුසියානු හමුදාවට හෝ යුක්රේන හමුදාවට රැකියා සඳහා යවා නැහැ. මේ ජාවාරම්කරුවන් සිදු කර තිබෙන්නේ මේ පුද්ගලයන් රැවටීම පමණයි. මේ විදිහට රැවටුණ අය දේශසීමාවල කටුක දේශගුණ තත්ත්වයන්ට මුහුණ දීමට නොහැකිව දැඩි පීඩාවට දුකට පත්වූ අවස්ථා රැසක් ගැන අපට වාර්තා වෙනවා. ඇත්තෙන්ම මේ කාර්යන් කිසිදු නීතියානුකූල පදනමකින් ක්‍රියාත්මක වෙන දේවල් නොවෙයි හොර ජාවාරම් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.

මේ ජාවාරම් සඳහා මූලිකව කටයුතු කරන අපරාධකරුවන් කවුද ? ඔවුන් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවාද?

මේ සඳහා මූලික වූවන් තාම හඳුනා ගෙන නොතිබුණත් මේ කටයුතු සඳහා මූලිකව මැදිහත් වුණ විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඇත්තෙන්ම අප හඳුනාගන්න ඕනෑ මේ ජාවාරම පිටුපස ඉන්න මහ මොළකරුවන් කවුද කියලා. ඒ විදිහට හඳුනා ගෙන ඉක්මනින් ක්‍රියාත්මක වුණොත් මිනිසුන් මරු කටට යවන මේ ජාවාරම්කරුවන්ගේ අලගිය මුලගිය තැන් හඳුනාගන්න පුළුවන්.

රටක යුද හමුදාවකට නීතියානුකූලව සෙබළුවන් යවන ක්‍රමයක් නැද්ද?

ස්වාධීන රටක කෙනෙකුට වෙනත් ස්වාධීන රටක ජාතික හමුදාවකට බැඳී වැඩ කරන්න නීතිමය අවසරයක් නැහැ එහෙම කරනවා නම්, රටවල් දෙකේම රජයන් අතර ගිවිසුමක් තියෙන්න ඕනෑ. අපේ හමුදාවන් හයිටිය ඇතුළු එක්සත් ජාතීන්ගේ යුද කටයුතු සඳහා යොමු කරනු ලබන්නේ ඒ ආකාරයටයි. ඒත්, අද අපි කතා කරන රුසියානු යුද පෙරමුණට පුද්ගලයන් යැවීම තුළ කිසිදු ඒ විදිහේ නීතිමය රාමුවක් නැහැ. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතිමය රාමුවෙන් එහා ගිය හොර ජාවාරමක් පමණයි.

රටේ ආගමන විගමන නීති තදින් තිබියදී හයසියයකට වැඩි පිරිසක් රුසියානු සහ යුක්රේන යුද පෙරමුණුවලට ගියේ කොහොමද?

ඇත්තෙන්ම මේ සඳහා ආගමන විගමන අංශ වගකිව යුතු යැයි මම චෝදනා කරන්නේ නැහැ මේ සියලු දෙනා විදෙස්ගත කර තිබෙන්නේ සංචාරක වීසා මතයි. සංචාරක වීසා මඟින් කෙනෙකු රටින් පිටවෙද්දී මෙහෙම දේකට යනවා කියලා සැක හිතන්නේ නැහැ. මේ දේවල් මිනිස් ජාවාරම් බව හඳුනා ගනිද්දී සිදුවෙන්න ඕනෑ සියල්ල සිදු වී හමාරයි.

මේ විදිහට රුසියානු සහ යුක්රේන යුද බිමට යවන අයගෙන් ලබා ගන්නා සේවාවන් මොනවාද?

හමුදා සහායකයන් ලෙසයි මේ පිරිස් හඳුන්වනු ලබන්නේ. මේ අයගෙන් ලබා ගන්නා එකම සේවය වන්නේ යුද්ධය දැඩිව ක්‍රියාත්මක වෙන පෙරමුණුවල ඉස්සරහටම දැමීමයි. ඇත්තෙන්ම ගමේ භාෂාවෙන් කිව්වොත් මේ පිරිස යවන්නේ යුද්ද කරන්න නොවෙයි බිල්ලට දීමටයි.

මේ කරුණු මෙතරම් නිවැරැදිව සොයා ගත්තේ කොහොමද?

මේ විදිහට යුද පෙරමුණට යැවූ පිරිසෙන් දෙදනකු පලා ගියා ඔවුන් තමයි මුලින්ම මේ කරුණු අනාවරණය කරනු ලැබුවේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මූලික වශයෙන් ගන්න ඕනෑ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද?

මෙහිදී ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා. ජනතාව දැනුම්වත් කිරීමට අපි කොච්චර කිව්වත් ඒ දේ ජනතාව අතරට අරන් යන්න බැරි නම් වැඩක් නැහැ. ඒ නිසා පුවත්පත් විදත් මාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුළු සියලු අංශ සමූහ වගකීමක් තිබෙනවා මේ ගැන මහජනතාව දැනුම්වත් කිරිමට. ඒ ගැන ඔබ ආයතනයටත් ස්තුතිය පළ කරන්න ඕනෑ ජනතාව දැනුම්වත් කිරීම සඳහා මැදහත් වීමට පෙරමුණ ගත්තාට.

ඇතිව තිබෙන මේ තත්ත්වය පාලනය කිරීමට රජයට යම් ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන් නේද?

රජයට එකවර මෙවැනි දෙයක් හඳුනා ගන්න බැහැ.මම පෙර කීවා වගේ සංචාරක වීසා මත යන පිරිස් පිළිබඳව අවධානය යොමු කරන්න අපහසුයි. ඒත් දැන් රජයට පුළුවන් මේ සිදුවීම්වල සුලමුල සොයා පරීක්ෂණ කිරීමටත් අනතුරට ලක්වෙමින් යුද පෙරමුණුවල සිටින ශ්‍රී ලාංකිකයන් ඒ අනතුරෙන් ගලවා ගැනීමටත් අවශ්‍ය කරනු ලබන ක්‍රියාමාර්ග ගැනීමට එමඟින් ඇති විය හැකි ඛේදනීය තත්ත්තයන් වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

රුසියානු හෝ යුක්රේන තානාපති කාර්යාල හෝ දෙරටේ රජයන් මේ ගැන දැනුම්වත්ද ? ඔවුන් මේ ගැන මොන වගේ අදහසක්ද පළ කරන්නේ ?

රුසියානු තානාපති කාර්යාලය මේ සිදුවීම් පිළිබඳව කිසිදු සම්බන්ධයක් හෝ දැනුම්වත් භාවයක් නැති බව ද සඳහන් කර තිබෙනවා. ලෝක සම්මුති සමඟ බැඳී සිටින මේ රටවල් ලෝක සම්මතයට පිටින් ගිහින් වැඩ කරයි කියල සිතන්න බැහැ. එහෙත්, අද වෙන විට රුසියානු යුද පෙරමුණේ මෙන්ම යුක්රේන යුද පෙරමුණේද ඉස්සරහම ශ්‍රී ලාංකියන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ විදිහේ දේවල් නීතිරීති තදින් දමා පාලනය කිරීමට අපහසුද?

දැනුත් නීති තිබෙනවා. ඒත්, නීතිය කඩමින් මෙහෙම ජාවාරම්වල නියැළෙන පිරිස් වගේම මුදල් සඳහා මේ වගේ ජාවාරම්කරුවන්ට හසුවන පිරිසකුත් සිටිනවා. ඒ නිසා අප ඒ අයගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දේවල්වලට රැවටෙන්න එපා. ඔබව රැවටීමට බොහෝ අය බලා ඉන්න නිසා නොරැවටී වැඩ කරන්න කියන ඉල්ලීම කරනවා. නීතිය සම්බන්ධ බලධාරීනුත් තදින්ම මේවගේ දේවල් ගැන සොයා බලා කටයුතු කරන්න ඕනෑ. එහෙම වුණොත් මේ විදිහේ අකටයුතුකම් පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම මේ තත්ත්වය හඳුනාගත් පසු එය පාලනය කිරීමට ජනාධිපති කාර්යාලය, ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කටයුතු කරනවා.

මේ තත්ත්වය තුළ විදේශ රැකියා සහ විදෙස්ගත වීමේදී සිදු කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වීමට පුළුවන්ද?

නීතියානුකූලව මේ විදිහේ රැකියාවලට යන්න බැහැ. ඒත්, තම ජීවිත පවා නොතකා පිරිස් මෙහෙම යන්නේ තමන්ගේ සහ පවුලේ ආර්ථික අභිවෘද්ධිය සඳහායි. ඒ අයට ජාවාරම්කරුවන් ලස්සන චිත්‍රයක් පෙන්වනවා ඒත් ඇතුළත තත්ත්වය භයානකයි. ඒ නිසා නීති පමණක් නොවෙයි නිසි දැනුම්වත් කිරීම්ද කරන්න ඕනැ එහෙම වුණොත් අනාගතයේදී මේ වගේ අවදානමක් රැගෙන කටයුතු කිරීමට කිසිවකු ඉදිරිපත් වන එකක් නැහැ.

මෙරටින් ගිය පිරිස් වෙත රුසියානු යුද බිමේදි ජීවිත අහිමි වීම් පවා සිදුව තිබෙනවාද?

මට මේ කිසිවක් නිල වශයෙන් කියන්න බැහැ ඒත්, අපට ලැබෙන ආරංචිවල හැටියට සැලකිය යුතු පිරිසකගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ඒ තත්ත්වය ඛේදවාචාකයක් විදිහටයි සඳහන් කිරීමට පුළුවන් කම තිබෙන්නේ.

ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විදිහට මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් මැදහත් වීමටත් කටයුතු කිරීම ආරම්භ කළේ කොහොමද?

මගේ ගම රත්නපුර දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්කයේ හිතවතුන් කිහිප දෙනකුම මට කිව්වා මන්ත්‍රීතුමා මෙහෙම දෙයක් වෙනවා මැදිහත් වෙන්න කියලා. ඉන්පසු මම මේ ගැන සොයා බැලුවා. ඇත්තෙන්ම කතාව හරියටම හරි. ඉන්පසුව මම ජනමාධ්‍ය දැනුම්වත් කිරීමටත්, ජනාධිපතිතුමා සහ රජය දැනුම්වත් කිරීම සිදු කළා. ඒ අනුව තමයි රුසියානු යුද පෙරමුණේ වැළලෙන අපේ රටේ මිනිස්සු ගැන ලොකු සමාජ කතාබහක් වගේම රාජ්‍ය තාන්ත්‍රික මැදහත් වීමක් ඇති කිරීමටත් හැකියාව ලැබුණේ. දැන් ජනාධිපතිතුමාගේ සහ රජයේ අවධානය ද මේ ගැන යොමුවෙලා තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT