Home » යාපනයේ සිට වවුනියාවට ලක්ෂ 8ක කේජී අදිද්දී මාට්ටු

යාපනයේ සිට වවුනියාවට ලක්ෂ 8ක කේජී අදිද්දී මාට්ටු

by sachintha
May 8, 2024 2:42 am 0 comment

කේරළ ගංජා කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 124ක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවකු වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (6) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්.එම්.එම්.එන්.එම්.ආර්. සියාවුල් හක් මහතා වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු යාපනය දෙස සිට වවුනියාව දෙසට යතුරුපැදියකින් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණ. වවුනියාව, චෙක්කඩිපිලව් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු කේරළ ගංජා තොගය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. සැකකරු හා කේරළ ගංජා තොගය වවුනියාව පොලිසිය හරහා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි, යාපනය දිසාව භාර පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, මන්නාරම ප්‍රාදේශීය අණ දෙන නිලධාරී, සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.සී. අශෝක මහතාගේ නියෝග මත පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්.එම්.එම්.එන්.එම්.ආර්. සියාවුල් හක් මහතා ඇතුළු පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකොට තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා වවුනියාව පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT