දැනට වසර කිහිපයකට පෙර බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙල්යාය කිහිපයක ආරම්භ කෙරුණු පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන අතරමඟ නතර වීම හේතුවෙන් මේ වන විට ගොවි පවුල් හත්සිය පනහක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර එම වැඩසටහන යළි ආරම්භ කොට කුඹුරු අක්කර 250ක් පමණ යල මහ අස්වැද්දීමට උපකාර කරන ලෙස ප්‍රදේශවාසී ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
පසුගියදා විවෘත කරන ලද උමාඔය ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමඟ සිදුවූ ජල මූලාශ්‍ර සිඳීයාමේ ගැටලුව මත බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීල්ඔය උඩපේරුව මැදපේරුව පල්ලෙපේරුව ප්‍රදේශයන්හි කුඹුරු අක්කර දෙසිය පනහකට පමණ ජලය අහිමිව සම්පූර්ණයෙන්ම පුරන්ව ගොස් ඇති බව ගොවීහු කියා සිටිති. කාලයාගේ ඇවෑමෙන් කැලෑවට යටවූ එම කුඹුරු ඉඩම් වසරකට එක් කන්නයක් හෝ වගා කිරීම සඳහා පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් දැනට වසර කිහිපයකට පෙර ආරම්භ කෙරුණු නමුත් එම වැඩසටහන සුළු කාලයක් තුළ අතරමඟ නතර වී ඇති බව ද කියති. මේ වන විටත් කුඹුරු අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් කැළෑවැදී ඇති බවද ඔවුහු තවදුරටත් කියා සිටියහ.
ඒ සම්බන්ධයෙන් එම ගොවීහු මෙසේ අදහස් දැක්වූහ.
ආර්.එම්. ලොකුමැණිකා මහත්මිය – මේක අක්කර 250ක වෙල්යායක්. ඒත් දැන් වතුර නැති නිසා අක්කර සීයක්වත් වගා වෙන්නේ නෑ. අපි වගා කළත් මේ අවට කුඹුරු ඉඩම් අක්කර සීයක් විතර කැළෑවැදිලා තියෙන නිසා ඒ කැළෑරොදවල්වල ඉන්න ඌරෝ මුවෝ ඉත්තෑවෝ මුගටි මොනරු වගේ සතුන්ගෙන් අපේ වගාවවත් බේරගන්න බෑ. වතුර ප්‍රමාණවත්ව නැති නිසා සමහරු වගාව අත්ඇරලා තියෙන නිසා හැමෝම ඇළවේලි සුද්ද කරන්නෙත් නෑ. එතකොට වගා කරන අයටවත් වගාවක් කරගන්න විදිහක් නෑ.
ඩී.එම්. ආරියපාල මහතා – අපි ජීවත් වුණේ මේ කුඹුරුවලින්. ඒ කාලෙ මේවා ඉණ තෙක් යටවෙන තරමට වතුර තිබුණ උල්පත් කුඹුරු. ඒත් උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සෙ වතුර උල්පත් හිඳිලා ඉණ තෙක් බහින්න පුළුවන් තරමට ඉරිතලා ගිහින් සේරම වේළිලා ගියා. දැන් තියෙන්නේ තනිකරම කාෂ්ටක පොළොවක්. හරි අමාරුවෙන් තමයි මොනවා හරි දෙයක් හිටවලා අස්වැන්නක් ගන්නේ. ඒ අතරේ දැනට අවුරුදු කීපයකට පෙර පටන්ගත් පුරන් කුඹුරු වැඩසටහනින් සුද්ද කර දුන්නු කොටසේ කුඹුරු වගා කෙරුණා. ඒත් ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම ගණ කැළෑවක් වෙලා තිබෙන නිසා වගා කරන කොටසේ අස්වැන්නවත් සත්තුන්ගෙන් බේරගන්නත් අමාරුයි.
ධම්මික උඩුවරගෙදර මහතා: දැනට අවුරුදු 8- 10ක් විතර මේ කුඹුරු සම්පූර්ණයෙන් පුරන්වෙලා කැළෑවැදිලා තිබුණේ. ඒ නිසා අවුරුදු කීපයකට පෙර හීල්ඔයෙන් ආරම්භ වුණු පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන උඩපේරුව මැදපේරුව පල්ලෙපේරුව කියන යායන්ගෙත් ක්‍රියාත්මක වුණා. ඒ යටතේ ඇළවේලි කපා කැළය සුද්ද කරගන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් බැකෝ යන්ත්‍රයක් ලබාදී තිබුණා. ඒත් ඇළවේලි බාගෙට කපනකොට ඒ මැෂින් එක අරන් ගියා දඹගොල්ලේ වැව හදන්න ඕනැයි කියලා. ඊට පස්සෙ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් බැකෝ යන්ත්‍රයක් ලබා දුන්නා. ඒත් ඒ යන්ත්‍රයෙන් බාගයක් වැඩ කරගෙන යනකොට ඒකත් අරන් ගියා වැලිමඩ කොටවෙර ප්‍රදේශයට. යායෙන් බාගයක්ම කැළෑව සුද්ද කරගන්න බැරි වුණා.
එන්.එම්.පී. අනුලාවතී මහත්මිය: ඒ කාලේ මේ කුඹුරු යායවල් යල මහ දෙකම සරුසාරව වගා කෙරුණා. මේවා තනිකරම උල්පත් කුඹුරු. ඒත් උමාඔය ව්‍යාපෘතියේ උමඟ හාරන්න පටන්ගත් කාලෙ ඉඳලා ඒ උල්පත් එකින් එක නැතිවුණා. සමහරු නම් ඒවාට වන්දි ගත්තා. ඒත් අපිට නම් මේ වන තුරු කිසි දෙයක් ලැබිල නෑ.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න