Home » ගෑස් එළවළු ගණන් බැස්සත් හෝටල් කෑමවල මිලේ අඩුවක් නෑ

ගෑස් එළවළු ගණන් බැස්සත් හෝටල් කෑමවල මිලේ අඩුවක් නෑ

by sachintha
May 8, 2024 1:53 am 0 comment

සතොසේ රුපියල් 30 බිත්තර දැමූ ආප්පයකුත් රුපියල් 100ක්

හෝමාගම, පාදුක්ක, හංවැල්ල හා අවිස්සාවේල්ලේ ජනතාව පීඩාවෙන්

ගෑස්, එළවළු බැස්සත් අනෙක් වියදම් වැඩියි: කෑම ගාණ බස්සන්න බෑ – වෙළෙඳසල් හිමියෝ

ගෑස් සහ එළවළුවල මිල අඩු වුවත්, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, සහ අවිස්සාවේල්ල යන නගරවල සහ අවට ප්‍රදේශවල ඇති හෝටල්වල කොත්තු, රයිස් සහ සාමාන්‍ය බත් පාර්සලයක මිල ගණන්වල අඩුවක් නොමැති බව පාරිභෝගික ජනතාව පවසති.

මීට මාස තුනකට පමණ ඉහතදී, එළවළු මිල ඉහළ මට්ටමක පැවැති කාල වකවානුවේ මෙම ආහාරවල පැවැති මිල ගණන් මේ වන විටත්, ඒ අයුරින්ම හෝටල් හිමියන් අය කරන බව බොහෝ දෙනා පවසති. පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ, එළවළුවල මිල ගණන් මේ වන විට අඩු වී ඇති අවස්ථාවක, එම සහනය තමන්ට ලැබිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචි අයකු මෙසේ පැවසීය.

“මේ වන විට හෝටල්වල සාමාන්‍ය ආප්පයක මිල රුපියල් 25 – 30 ක් වන වන අතර, බිත්තර ආප්පයක මිල රුපියල් 100 – 110 ක් පමණ වෙනවා. සතොස අලෙවිසල්වලින් රුපියල් 35 බැගින් බිත්තරයක් මිලදීගෙන, බිත්තර ආප්පයක් සකස් කර එය රුපියල් සියයකට වැඩි මුදලකට අලෙවි කිරීම නිසා වෙළෙඳසල් හිමියන් පාරිභෝගික ජනතාව සූරා කෑමක් සිදු කරනවා. මෙය එක් නිදසුනක්. ආහාරවල මිල ගණන්වත් ප්‍රදර්ශනය නොකර මේ හා සමානව අනෙක් කෑමවල මිල ගණන් අඩු කිරීමට හෝටල් හිමියන් මැලිකමක් දක්වනවා. ”

ආපනශාලා හිමියන්ගේ සංගමය ආහාර මිල ගණන් අඩු කළ යුතු බවට ප්‍රකාශ කළත්, ඒ ගැන අවධානය යොමු නොකර, එම සංගමය ආහාර පානවල මිල ගණන් වැඩි කළ යුතු බවට ප්‍රකාශ කරන අවස්ථාවලදී, ක්ෂණිකවම සෑම හෝටල් හිමියකුම ආහාරවල මිල ගණන් වැඩි කරන බව ද ජනතාවපෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, තම හෝටල්වල නිෂ්පාදනය කරන ආහාර අලෙවි කර ජීවත්වන හෝටල් හිමියන් මෙවැනි අවස්ථාවකදී පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේ නම් එය මානුෂික ක්‍රියාවක් බවයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ ද අවධානය යොමු විය යුතු බව ඔවුහු තවදුරටත් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියන්ගෙන් කිහිප දෙනකුගෙන් කළ විමසීමකදී ඔවුහු මෙසේ අදහස් දැක්වූහ.

“මෙම ආහාරවල විකුණුම් මිල ප්‍රදර්ශනය දිවයිනේ බොහෝ හෝටල්වල ක්‍රියාත්මක වෙනවා. එළවළුවල මිල ගණන් අඩු වී ඇති බව ඇත්ත. නමුත් සහල්, කුකුළු මස්, මාළු ඇතුළු තවත් අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා. විදුලිය සහ ජල බිල්පත්වල මිල ගණන් වැඩි වීම, හෝටල්වල සේවය කරන සේවකයන්ට සහ ආහාර නිෂ්පාදනය කරන බාස්වරුන්ට විශාල මුදලක් වැටුපක් ගෙවීමට සිදු වීම ආදී නොයෙකුත් කරුණු කාරණා නිසා මේ ආකාරයෙන් ආහාර මිල අඩු කිරීමට කොහෙත්ම හැකියාවක් නෑ.”

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT