Home » ක්‍රීඩා පිටිය ජය ගත් එකම පවුලේ ප්‍රවීණයෝ තිදෙනෙක්

ක්‍රීඩා පිටිය ජය ගත් එකම පවුලේ ප්‍රවීණයෝ තිදෙනෙක්

by sachintha
May 8, 2024 1:46 am 0 comment

මලල ක්‍රීඩාවෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග රැසක් ජයග්‍රහණය කර ලක්මවට ආඩම්බරයක් වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක මාතර දිස්ත්‍රික්කයේ මාකඳුරෙන් බිහි වී සිටිති. සිරිපාල හල්පගේ, සමන්තිලක හල්පගේ සහ තඹරලතා හල්පගේ නම් වූ ඔවුහු ක්‍රීඩකයන් ලෙස පමණක් නොව ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස ද රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගණනක් දායාද කොට අප රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් සිදු කරති .

ක්‍රීඩා පිටි පුහුණුකරුවන් හෝ වෙනත් කිසිඳු පහසුකමක් නොමැතිව 70 දශකයේ අග භාගයේ ගමේ පාරවල් දිගේ දුවමින් ස්වෝත්සාහයෙන් පුහුණු වීම් කටයුතුවල නිරතවී ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් ලබා දී ඇති දායකත්වය මිල කළ නොහැකිය.

සිරිපාල හල්පගේ මහතා

1977 වර්ෂයේදී මීටර් 800 සහ මීටර් 1500 යන තරගවලට සහභාගි වී මාණ්ඩලික තරගයෙන් සහ දිස්ත්‍රික් තරගයෙන් ජයග්‍රහණය කළ සිරිපාල හල්පගේ මහතා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා තරගාවලියේදී ජයග්‍රහණය කිරීමට හැකිව තිබේ. එය මාකදුර මහා විද්‍යාලයට හිමිවූ පළමු සමස්ත ලංකා ජයග්‍රහණය ලෙස සටහන් වේ.

සිරිපාල හල්පගේ මහතාගේ බාල සොහොයුරියක වන තඹරලතා හල්පගේ මහත්මිය ද ජාත්‍යන්තර තරගවලට සහභාගී වී රන් රිදී ලෝකඩ පදක්කම් රැසක් දිනා ඇති අතිදක්ෂ ක්‍රීඩිකාවකි.

සිය වැඩිමහල් සොහොයුරා ගමේ පාරවල්වල දිවීමේ තරගවලට පුහුණු වීම් කරන විට හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහුත් සමග ඔහු පසුපසින් දුවමින් පුහුණුවීම්වලයෙදී ඇති ඇය ද දිගු දුර ධාවන තරගවලට සහභාගී වී දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය, ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සහ ආරාධිත මලල ක්‍රීඩා තරගාවලිය වැනි ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී ජයග්‍රහණ ලබා ගැනීමට සමත්ව තිබේ. ජාතික මලල ක්‍රීඩා සංචිතයේ අවුරුදු 14 ක් කටයුතු කරමින් ඇය ඉදිරිපත් වූ සෑම ඉසව්වක් වෙනුවෙන් රන් රිදී හෝ ලෝකඩ පදක්කමක් ලබාගැනීමට හැකිවී තිබේ.

සිරිපාල මහතාගේ බාල සොහොයුරු සමන්තිලක හල්පගේ මහතා කෙටි කලක් පාසල් ක්‍රීඩකයකු ලෙස කටයුතු කර ගෙදර දොර අඩුපාඩු නිසා සිය සොහොයුරියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙමින් ක්‍රීඩාවෙන් ඉවත් වුවද පසුව ක්‍රීඩා උපදේශකයකු සහ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් කරයි. සිරිපාල මහතාගේ ඇවෑමෙන් මාකඳුර මහා විද්‍යාලයේ දැනටත් ක්‍රීඩා පුහුණුකරු ලෙස සමන්තිලක කටයුතු කරයි.

දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT