Monday, May 20, 2024
Home » මෙරට පුරවැසියකු බව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා – ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි

මෙරට පුරවැසියකු බව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා – ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි

by sachintha
May 9, 2024 1:02 am 0 comment

ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරයි

විදෙස් පාස්පෝට් එකක් ගත් ඕනෑම අයකුගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසියි

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය මෙරට පුරවැසියකු නොවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සහ එම ධුරයේ කටයුතු කිරීමට ඇය නුසුදුසු බවට ත්‍රිපුද්ගල

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඊයේ (8) තීරණය කළේය. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හළ බවට හෝ මෙරට පුරවැසිභාවය ගත් බවට හෝ අධිකරණය හමුවේ ඔප්පු කිරීමට ඩයනා ගමගේ මහත්මිය අපොහොසත් වී ඇති බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් 31 දා අභියාචනාධිකරණය දුන් තීන්දුවද මෙහිදී බලරහිත කරන ලද අතර, එම අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් සිදු කර අවසන් කරමින් මේ තීන්දුව ප්‍රකාශ කෙරිණි. අදාළ නඩු ගාස්තු පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙත ගෙවන ලෙසද වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියට නියම කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ එකඟතාව සහිතව සකස් කරන ලද නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපතක් භාවිත කරමින් 2004 ඔක්තෝබර් 5 දා මෙරටට පැමිණ ඇති වග නඩු විභාගයේදී අනාවරණය වූ බවත්, තමා මෙරට පුරවැසියකු බවට තහවුරු කිරීමට ඒ මහත්මිය අපොහොසත් වී ඇති බවත් අදාළ නඩු තීන්දුවේ සඳහන් වේ. එලෙස විදේශ රටක විදේශීය ගමන් බලපත්‍රයක් ගත් අවස්ථාවේදී ඕනෑම පුද්ගලයකුගේ මෙරට පුරවැසිභාවය නිරායාසයෙන්ම අහෝසි වන බවද විනිසුරු මඬුල්ල මෙහිදී පෙන්වා දී තිබේ. එසේ තිබියදී මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙරට රාජකාරි සහ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ දෙකක් ඇය ගෙන ඇති බවද ඒ විදෙස් ගමන් බලපත්‍ භාවිත කරමින් වරින් වර ඇය විදේශගත වී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වූ බවද තීන්දුවෙහි සඳහන්ය. මෙරට පුරවැසියකු නොවන වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය අදාළ විදෙස් ගමන් බලපත්‍ ගැනීම සහ භාවිත කිරීම මඟින් බලය සහ වරප්‍රසාද අවභාවිත කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

එසේම ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති ආගමන විගමන පනත යටතේ සිදු කළ කරුණු දැක්වීමට අනුව අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළද ඇය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙන්වා දී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ අවධානයට යොමු වී තිබේ. ඇය අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඇති තරම් කරුණු කීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් නීතිය සැමට සර්ව සාධාරණ විය යුතු බවට සහතික කර තිබෙන බවද නීතිය ඉදිරියේ කිසිම පුද්ගලයකු වෙනස්කමකට හෝ විශේෂයකට ලක් නොකළ යුතු බවද නඩු තීන්දුව මඟින් අවධාරණය කර තිබේ. නීතියේ දෙවඟනගේ දෑස් බැඳ ඇත්තේ නීතිය හමුවට එන පුද්ගලයන්ගේ ධනය, බලය හෝ වෙනත් හේතු මත ඔවුන් නීතිය හමුවේ වෙනස්කම්වලට ලක් නොකිරීම සඳහා බවද මේ නඩු තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම සමඟ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කර නොතිබීම එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හේතුවක් බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කළ බවට තීන්දු කළ නමුත් රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑම සඳහා පෙත්සම්කරු විසින් නඩු ගොනුවක් විධිමත් ලෙස ඉදිරිපත් කර ඇති බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය මෙරට පුරවැසිභාවය ගැනීමට කටයුතු කළ බවක් හෝ විෂය භාර ඇමැතිවරයා විසින් ඩයනා ගමගේ මහත්මියට මෙරට පුරවැසිභාවය පිරිනැමූ බවට හෝ ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට කිසිදු කරුණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශ්වය අපොහොසත් වූ බවත් අදාළ තීන්දුවේ සඳහන් වෙයි.

වගඋත්තරකාරියට එරෙහිව මේ පෙත්සම පවත්වාගෙන යෑම සඳහා පෙත්සම්කරු විසින් විධිමත් පරිදි නඩුව ඉදිරිපත් කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. ඒ අනුව අභියාචනාධිකරණය විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් සහ පෙත්සම පිළිගනිමින් දෙන ලද නඩු තීන්දු දෙකම බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදි. ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම මඟින් ඉල්ලා ඇති පරිදි වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය විසින් වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම කවර බලයක් මත සිදු කරන්නේද යන්න ප්‍රශ්න කරමින් ක්වෝවොරොන්ටෝ රිට් ආඥාවක්ද නිකුත් කරන ලදි.ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට තමන් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මේ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ වෙති. රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව පෙත්සමෙහි සඳහන් විය. එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියේය. ඒ තීන්දුව අසාධාරණ සහ වැරදිසහගත බව පෙත්සම්කරු කියා සිටියේය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වීමට ඩයනා ගමගේ මහත්මියට සුදුසුකම් නැති බවට තීරණය කරන ලෙසත්, අදාළ අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බව තීරණය කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි. බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේ දෙකට එකක් ලෙස වන බෙදුණු තීන්දුවකිනි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT