Monday, May 20, 2024
Home » වයඹ පළාත සංචාරක කර්මාන්තයෙන් ඉහළට ගෙන එනවා – වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ්

වයඹ පළාත සංචාරක කර්මාන්තයෙන් ඉහළට ගෙන එනවා – වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ්

by sachintha
May 9, 2024 1:29 am 0 comment

ආකර්ෂණීය සංචාරක පුරවරයක් වුවත් තවමත් ඉතාම නොදියුණු මට්ටමක පවතින වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බව වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ වයඹ පළාතේ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් හමු වෙමින් පළාත් සභාවේ ලිච්ජවී ශාලාවේදී පැවති රැස්වීමකදීය.

මේ අවස්ථාවට හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද සහභාගි වූ අතර, එහිදී වයඹ පළාතට ගෙන එන තම ඉදිරි සැලසුම් පිළිබඳව නව ආණ්ඩුකාරවරයා මෙලෙස අදහස් දැක්වීය.

“වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ඉතාමත්ම නොදියුණු මට්ටමකයි තියෙන්නේ. එය වැඩි දියුණු කර නව ආයෝජකයන් වයඹට ගෙනත් සංචාරක කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. කුරුණෑගල කියන්නේ මේ වන විට මෙරට ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක්.

කුරුණෑගල හරහා දඹුල්ලට, හබරණට කොපමණ සංචාරකයන් පිරිසක් යනවාද? ඇයි අපට බැරි මේ අය කුරුණෑගල නතර කර ගන්න තත්ත්වයට පත් කරන්න. යාපහුව, කුරුණෑගල, දඹදෙණිය වැනි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන තුළ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල වැව රවුම වගේම කල්පිටිය ප්‍රදේශයත් වයඹට තිබෙන සංචාරක උල්පත්. කුරුණෑගලට තියෙන්නේ ඉතාම දර්ශනීය වැව රවුමක්. මේ ස්ථාන දියුණු කරන්න මම උපරිමයෙන් වැඩ කරනවා.

මේ රට ආර්ථික අතින් වැටී තිබෙද්දී ගොඩගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔහුගේ උපදෙස් සහ මඟපෙන්වීමෙන් ඉදිරියේදී සියලුම දෙනා සමඟ එක්ව ඉතා සහයෝගයෙන් වැඩ කිරීමටත්, ආණ්ඩුකාරවරයා ලෙස පළාතට පළාතේ ජනතාවට ඇප කැපවී සේවය කිරීමටත් කටයුතු කරනවා.”

වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංකෝන්, වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT