Monday, May 20, 2024
Home » පෑන් ඒෂියා බැංකුව 2024 පළමු කාර්තුව අවසානයේදී 47%ක බදු පෙර ලාභයක්

පෑන් ඒෂියා බැංකුව 2024 පළමු කාර්තුව අවසානයේදී 47%ක බදු පෙර ලාභයක්

by sachintha
May 9, 2024 1:29 am 0 comment

පෑන් ඒෂියා බැංකුව, 2024 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා බැංකුව වාර්තා කළ බදු පෙර ලාභය රුපියල් මිලියන 796ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 47%ක වර්ධනයකි.

පවතින අඩු පොලී අනුපාත සහ අනෙකුත් හිතකර සාර්ව ආර්ථික සාධක හේතුවෙන් ණය සඳහා ඇති ඉල්ලුම වැඩි වීම හේතුවෙන් 2024 වසරේ පළමු කාර්තුව තුළ බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 17% කින් ඉහළ ගොස් ඇති අතර, අමෙමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 324 සිට රුපියල් 300 දක්වා අඩු වීම ද මෙම කාලසීමාව තුළ සිදු වූ සුවිශේෂී සිදුවීමක් විය.

Classification | Public

සමාලෝචිත කාල සීමාව තුළ පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 363ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 12% ක වර්ධනයකි. ඒ අනුව 2024 වසරේ පළමු කාර්තුව අවසන් වන විට බැංකුව සිය කොටසක ඉපැයීම් ලෙස රුපියල් 0.82ක් වාර්තා කිරීමට සමත් විය.

2024 පළමු කාර්තුව සඳහා බැංකුව 4.91% ක ශුද්ධ පොලී ආන්තිකයක්, 6.42% ක කොටස් මත ප්‍රතිලාභයක් සහ 1.36%ක වත්කම් මත පූර්ව ප්‍රතිලාභයක් වාර්තා කළ අතර, 2024 මාර්තු 31 දිනට බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 51.63ක් ලෙස වාර්තා විය.

පෑන් ඒෂියා බැංකුව සිය සියලු ම ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අනුපාත නියාමන අවම ප්‍රමිතීන්ට වඩා ඉහළින් පවත්වාගෙන යාමට සමත් වී ඇති අතර, 2024 මාර්තු 31 වන දිනට බැංකුවේ අදියර I ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙළින් 15.11% සහ 17.09% ලෙස වාර්තා විය. 2024 මාර්තු 31 වන විට වාර්තා වූ බැංකුවේ උත්තෝලන අනුපාතය 7.65%කි.

2024 මාර්තු 31 වන විට සමස්ත බැංකු මට්ටමේ ව්‍යවස්ථාපිත ද්‍රව වත්කම් අනුපාතය 35.75% ක් ලෙස වාර්තා වූ අතර, BASEL III වර්ගීකරණය යටතේ බැංකුවේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය ද පවත්වාගත යුතු අවම මට්ටම්වලට වඩා බෙහෙවින් ඉහළින් පැවතුණි. ඒ අනුව සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව රුපියල් සඳහා පවත්වාගෙන ගිය ද්‍රවශීලතා අනුපාතය 354.62%ක් වූ අතර, සියලු ම මුදල් සඳහා බැංකුව විසින් පවත්වා ගනු ලැබූ ද්‍රවශීලතා අනුපාතය 445.37% ක් ලෙස වාර්තා විය.

2024 වසරේ පළමු කාර්තුව තුළ ලැබූ ඉහළ වර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා පැවසුවේ, “2024 වසරේ පළමු කාර්තුව අවසන් වන විට අප ලැබූ ඉහළ වර්ධනය මඟින් ආර්ථික අර්බුදයෙන් පසු අපගේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් අප ඉතා සාර්ථකව ගමන් කරන බවට උදාහරණ සපයනවා.

ඒ අනුව මෙම කාල සීමාව තුළ අපගේ බදු පෙර ලාභයේ 50% කට ආසන්න වර්ධනයක් වාර්තා වීම අපගේ උපායමාර්ගවල සාර්ථකත්වය සහ කාර්යක්ෂමතාව පෙන්නුම් කරන බව පැවසිය යුතුමයි. එය අපගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට වගේම, මූලික බැංකු කරණ ක්‍රමවේද හරහා අපගේ ඉපැයීම් වර්ධනය කිරීමටත් බෙහෙවින් ඉවහල් වන බවත් සිහිපත් කිරීමට කැමතියි. පෑන් ඒෂියා බැංකුව ඩිජිටල් සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගට ම ආයෝජනය කිරීම වගේ ම අපගේ කණ්ඩායම එකා වන් ව කැප වීම මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බව සිහිපත් කිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා’ යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT