Monday, May 20, 2024
Home » නාපාවල නිවෙසින් විදේශ රටක අත්බෝම්බයක් පතරොම් 10ක් සොයාගනී
මන්නා රමේෂ්ගෙන් ප්‍රශ්න කිරීමේදී

නාපාවල නිවෙසින් විදේශ රටක අත්බෝම්බයක් පතරොම් 10ක් සොයාගනී

by sachintha
May 9, 2024 1:51 am 0 comment

 

ඩුබායි සිට මන්නා රමේෂ් මෙරටට රැගෙනවිත් පැය 24ක් යන්නට මත්තෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත අවිස්සාවේල්ල නාපාවල ඔහු පදිංචි නිවෙසේ අට්ටාලයක සඟවා තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සහ පතරොම් 10ක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

අබුඩාබි පොලිසියට හසුවී සිටි මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් භාරගෙන මෙරටට රැගෙන එනු ලබන්නේ පෙරේදා (07)ය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්නා රමේෂ් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලබන්නේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් සහිතව මිරිහාන ප්‍රදේශයේ පිහිටි බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත මන්නා රමේෂ්ව රැගෙන යනු ලබන්නේ පෙරේදා (07) පෙරවරුවේදීය. ඒ රැගෙන ගොස් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මන්නා රමේෂ්ගෙන් ඔහු කළ අපරාධ ගැන ප්‍රශ්න කර තිබේ. එම ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත ඔහු පදිංචිව සිටි අවිස්සාවේල්ල, නාපාවෙල යාලගම පිහිටි නිවෙසේ අට්ටාලයකින් අත්බෝම්බයක් සහ පතරොම් 10ක් සොයාගෙන ඇති බව පොලිසිය කියයි.

මෙම නිවෙස මෙයට පෙර අවස්ථා කිහිපයකදීම වෙනත් පොලිස් කණ්ඩායම්වල පරීක්ෂාවන්ට ලක්ව තිබීමද විශේෂත්වයකි.

අවිස්සාවේල්ලේ පාතාල භීෂණයක් පතුරුවා හරිමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි මන්නා රමේෂ් ඩුබායි රාජ්‍ය බලා පලා යන්නේ පසුගිය වසරේදීය. සිය බිරිය සමඟ සාජා බලා ගමන් කරමින් සිටියදී ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථය අබුඩාබිහිදී පරීක්ෂාවට ලක්ව ඇති බවත් එහිදී ඇතිවුණු යම් සිදුවීමක් හේතුවෙන් අබුඩාබි පොලිස් අත්අඩංගුවට මන්නා රමේෂ් පත්ව තිබිණි. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයක් පවා ඇති අයකු වූ මන්නා රමේෂ් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එක්සත් එමීර් රාජ්‍ය බලධාරීන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බව සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT