Monday, May 20, 2024
Home » ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ජූලි මාසය වන විට අවසන් කරනවා -ඇමැති අලි සබ්රි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ජූලි මාසය වන විට අවසන් කරනවා -ඇමැති අලි සබ්රි

by sachintha
May 9, 2024 1:51 am 0 comment

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, එළැඹෙන ජූලි මාසය වන විට අවසන් කරන බවත් ඉන් අනතුරුව රට බංකොළොත් තත්ත්වයෙන් ගොඩගත් බවට ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2340/02 දරන ගැසට් නිවේදනයේ සහ අංක 2348/48 දරන ගැසට් පත්‍රයේ පළ වූ රෙගුලාසි පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැති අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි. හුදෙකලා ලෙස පවතින අර්බුද විසඳිය නොහැකියි. නොබෙදුණු විදේශ ප්‍රතිපත්තියක් ඇතිව සියලුම ජාත්‍යන්තර ජාතීන් සමඟ සුහදව කටයුතු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. ජාතික සම්පත් ආරක්‍ෂා කර ඒවායින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා විදේශ ප්‍රතිපත්තිය නොබෙදුණු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ප්‍රමාණවත් පියවර ගෙන තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා පසුගියදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. ඔහුගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරු වුණා. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතිය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය ලබාගෙන ඇති අතර ජලවිදුලි නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම හේතුවෙන් එළැඹෙන විට විදුලි බිල තවදුරටත් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සේවා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

පසුගියදා සෞදි අරාබියේ පැවති ‘ලෝක ආර්ථික සංසදයේ’ සමුළුවට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, ආයෝජන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබිය සමඟ ආයෝජන සංවර්ධන ගිවිසුමක් අත්සන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජපාන විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ අර්ථයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයේදී ජපානයේ නායකත්වය ශ්‍රී ලංකාවට හිතකරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට ජපාන විදේශ ඇමැතිවරයා අපට සහතික වී තිබෙනවා.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග අවසන් කිරීමෙන් පසු අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යන ලෙස ජපානය අවධාරණය කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT