Monday, May 20, 2024
Home » අලි කොරිඩෝව හරස් කළ විදුලිවැට නිසා ගම්වදින අලින්ගෙන් ජනතාවට දැඩි පීඩා

අලි කොරිඩෝව හරස් කළ විදුලිවැට නිසා ගම්වදින අලින්ගෙන් ජනතාවට දැඩි පීඩා

by sachintha
May 9, 2024 2:23 am 0 comment

මාදුරුඔය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලි කොරිඩෝව හරස් කර පෞද්ගලික සමාගමක් විසින් විදුලි වැටක් ඉදිකිරීම හේතුවෙන් අලිමංකඩ හරහා ගමන් කරන අලි රංචු ගම්මානවලට පැමිණි බව භෝග සහ නිවාස විනාශ කරන බව කුඩා සීගිරිය, නාමල්ඔය, කජුවත්ත ඇතුළු අවට ගම්මානවල ජනතාව මැසිවිලි නඟති.

වස්ගමුව සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිරන්තරයෙන්ම තම ගම්මානවලට ගම්වදින වන අලි අසූවකගෙන් යුත් රංචුවක් නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් ගත වූ සතියක කාලය තුළ පමණක් නිවාස දහයකට වැඩි සංඛ්‍යාවක් වන අලින් විසින් හානිකර ගෙවතු භෝග වගාවන් ද විනාශ කර ඇති බවත් දිඹුලාගල කජුවත්ත ගම්වාසීහු සඳහන් කරති.

රාත්‍රී සහ සවස් කාලයේ මෙම වන අලි රංචු ගම් වැදීම නිසා කුඩා සීගිරිය, නාමල්ඔය, කජුවත්ත ඇතුළු අවට ගම්මානවල පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

08 වෙනිදා අලුයම තම ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක් ගම්මානයේ නිවාස පහක් බිඳ එහි තිබූ වී පවා විනාශ කර ඇති බවත්, බීමට තබා ගන්නා ප්ලාස්ටික් ජල ටැංකිවල ජලය බී එම ජල ටැංකිද පොඩිකර විනාශ කර ඇති බවත් කජුවත්ත ගම්මානයේ, ආර්.එම්. ශාන්ත රත්නායක මහතා සඳහන් කළේය.

කුඩා සීගිරිය ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක්, නිවසේ ස්වාමියා රාත්‍රියේ පැල් රැකීමට ගොස් සිටියදී බිරිඳ සහ දරුවන් සිටින අවස්ථාවේදී ගඩොල් බිත්ති පෙරළීම හේතුවෙන් පාඩම් කරමින් සිටි දරුවා බේරී ඇත්තේ අනූ නවයෙන් බවද කුඩා සීගිරිය ගම්වාසීහු කියා සිටිති.

මාදුරුඔය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලි කොරිඩෝව හරස් කර පෞද්ගලික සමාගමක් විසින් විදුලි වැටක් ඉදිකිරීම හේතුවෙන් අලිමංකඩ හරහා ගමන් කරන අලි රංචු තම ගම්මානවලට පැමිණ බව භෝග සහ නිවාස විනාශ කිරීම පිළිබඳ අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරින් දැනුවත් කළද ඊට මෙතෙක් විසඳුමක් නොමැති නිසා තවදුරටත් වන අලින්ගෙන් තමන්ට පීඩාවිඳීමට සිදුව ඇති බවත්, රාත්‍රී කාලයේ ගම්මානයේ දූ දරුවන් සමඟ නිදිවර්ජිතව වන අලින්ට බියේ සිටීමට සිදුව ඇති බවත් කජුවත්ත ගම්වාසීන් පෙන්වා දෙති.

ගම්මානය වටා රජය මඟින් විදුලි වැටක් ඉදිකර තිබුණ ද එය නඩත්තුවක් නොකරන නිසා මේ වන විට අලිවැට අක්‍රිය වී ඇති බවත්, වන අලින්ගෙන් ජීවිත කිහිපයක් විනාශ වීමට පෙර වස්ගමුව සහ මාදුරුඔය ජාතික වනෝද්‍යාන අතර වන අලින්ට පෞද්ගලික සමාගම මඟින් ඉදිකර ඇති විදුලි වැට ඉවත් කරන්නේ නම් මෙතරම් අලින්ගෙන් හානියක් නොවන බව ද ගොවීහු කියති.

තම ගම්මානවලට නිරන්තරයෙන් පවතින වන අලි කරදර හේතුවෙන් තම පාසල් දරුවන්ට රාත්‍රී කාලයේ අධ්‍යාපනය කටයුතු සිදු කිරීමට සහ පාඩම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, මෙලෙස දිගින් දිගටම වන අලි තර්ජන පැවතුණහොත් ගම්බිම් අතහැරයෑමට සිදුවන බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ අනතුරු අඟවති.

තමන්ට කිසිදු ස්ථිර රැකියාවක් නොමැති අතර අහස් දියෙන් වගාකර ආහාරයට ගන්නා වී උර කිහිපයක් ලබාගන්නා බවත්, එම වී වගාවන්වලටද වන අලින්ගේ තර්ජන පවතින අතර, ගෙවතුවල වගා කරන පොල්, මඤ්ඤොක්කා, අඹ, කෙසෙල්, ඇතුළු භෝග වන අලි එක රැයකින් විනාශ කිරීම හේතුවෙන් තමන්ට දැඩි ආර්ථික හා ආහාර අර්බුදවලට මුහුණ දීමට සිදුවන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

කජුවත්ත හා අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනය සම්බන්ධව අප වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ අලි කොරිඩෝව හරහා පෞද්ගලික විදුලි වැටක් ඉදිකර තිබීමෙන් වනෝද්‍යාන දෙක අතර වන අලින්ට නිදහසේ ගමන් කිරීමට බාධා එල්ල වී ඇති බවත් එමඟින් අලි තර්ජන වැඩිවීමට හේතු වී ඇති බවත්, යම් යම් ආයතන කිසිදු කළමනාකාරීත්වයකින් තොරව මහවැලි ඉඩම් පෞද්ගලික සමාගම්වලට ලබාදීම අලි මිනිස් ගැටුම් වර්ධනය වීමට හේතු වී ඇති බවයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT